2019 අගෝස්තු 17 වන සෙනසුරාදා

අසංක හා චරිත්ගෙන් හතුරුසිංහට එරෙහි වාර්තා දෙකක්

 2019 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 158

ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරුවන් ලෙස කටයුතු කළ අසංක ගුරුසිංහ සහ චරිත් සේනානායක යන මහත්වරුන් වාර්තා දෙකක් බාරදී ඇති බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් ‘දේශය’ට පැවසීය.

පුහුණුකරු ධූරයෙන් තාවකාලිකව ඉවත්කර සිටින හතුරැසිංහ මහතාට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය යොමුකළ චෝදනා පත‍්‍රයට ගුරුසිංහ සහ සේනානායක යන මහත්වරුන්ගේ වාර්තා වඩාත් ශක්තියක් එකතු කර ඇති බව වාර්තා වේ. හතුරුසිංහ මහතා 2018 වසරේ ජනවාරි මස පුහුණුකරු ලෙස පත්වීමෙන් පසුව කළමනාකරුවන් තිදෙනකු කටයුතු කළ අතර ඒ අතරින් අසංක ගුරුසිංහ සහ චරිත් සේනානායකගේ ඉවත්වීමට හතුරුසිංහ සෘජුව මැදිහත් වූ බව ප‍්‍රසිද්ධ රහසකි. 
තමන්ට අවනත නොවන පුද්ගලයන් කණ්ඩායම් කළමනාකාරීත්වයෙන් ඉවත්කිරීමට හතුරුසිංහ කටයුතු කළ බව කණ්ඩායම් ආරංචි මාර්ග සඳහන් කරයි. ආසියානු කුසලාන තරගාවලියේ පරාජයේ වගකීම එවකට නායක ඇන්ජලෝ මැතිව්ස් පිට පටවා මැතිව්ස් නායකත්වයෙන් මෙන්ම එක්දින සංචිතයෙන් ඉවත්කිරීම පිටුපස හතුරුසිංහ දැවැන්ත කාර්යයක් කළ බවටද චෝදනා එල්ල විය. 

හතුරුසිංහ, බංග්ලාදේශ පිලේ පුහුණුකරු ලෙස කටයුතු කළ කාලයේ ද එහි ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් සමඟ ගැටලු ඇති වූ අතර එය කණ්ඩායමේ ඇතැම් ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන්ගේ දැඩි විවේචනයට ලක්වූ බව ද වාර්තා වේ. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ඉදිරිපත් කළ චෝදනා පත‍්‍රයට හතුරුසිංහ සහ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය අතර එළඹි ගිවිසුමට ඇතුළත්ව තිබුණත් හතුරුසිංහ මහතාට ඉටුකිරීමට නොහැකි වූ කරුණු රැසක්ද ඇතුළත්ව ඇති බව වාර්තා වේ.

හතුරැසිංහ සහ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය අතර ගිවිසුමට ඔහු ඉවත්කිරීමට ප‍්‍රතිපාදන නොමැති වුවද ඔහු ගිවිසුමට අනුව කටයුතු කර නොමැති බවට ප‍්‍රකාශ කරමින් ඉවත්කිරීමට සාධාරණ නිමිත්තක් නිර්මාණය කරගැනීමේ හැකියාව ඇති බවට නීති උපදෙස් ලැබී ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පසුගිය 7 වැනිදා හතුරුසිංහ මහතාට චෝදනා පත‍්‍රය යොමු කර ඇති අතර එයට කරුණු දැක්වීමට ලැබුණු දින 14ක කාලය ලබන සතිය මැද අවසන් වේ.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පසුගියදා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේ හතුරුසිංහට පුහුණුකරු ධූරය දුන් කමිටුවේ තමන් ද සිටි බවත් එහිදී සිදුවී ඇති වරද පිළිගන්නා බවත්ය. 
“පුහුණුකරු රුකගන්න ගිහින් අපිට ක‍්‍රීඩාව පහතට දාන්න බෑ. ඒ නිසා අපි පුහුණුකරු පිළිබඳව කටයුතු කරමින් ඉන්නවා. ඔහු පත්කිරීමේදී සිදුවූ වරද නිවැරදි කිරීමට අපි කටයුතු කරනවා” යැයි සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය. ශ්‍රී ලංකා ක‍්‍රිකට් සහ හතුරුසිංහ අතර ප‍්‍රශ්නය කොතනින් නවතීද යන්න කිව නොහැක. ඇතැම්විට එය අධිකරණය දක්වා යෑමටද ඉඩ තිබේ. 

වරකාගොඩ ගමගේ

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00