2019 අගෝස්තු 10 වන සෙනසුරාදා

අවසානයක් නොපෙනෙන “ඔපරේෂන් හතුරුසිංහ”

 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 97

“එතුමාට පුළුවන් කැමති නම් නැවත සලකා බලන්න. එහෙම නැත්නම් එතුමා උසාවි පැත්තෙන් යනවා නම් හරි ඒක කරන්න සිදුවෙනවා. එතුමා කැමති නැත්නම් මේකට සාධාරණයක් කරන්න. හතුරුසිංහ මැතිතුමාත් එක්ක කිසිම තරහකින්, වෛරයකින් නොවෙයි මම කියන්නේ සාධාරණව අපි හැමකෙනාටම ඉලක්කයක් දෙන්න ඕනේ. එහෙම ඉලක්කයක් නොදී පුහුණුකරුවෙක් කියනවා නම් මට තව මාස 18ක් තියෙනවා, නෑ තොපිලා ගෙවපන් මේ ගාණම කියලා, ඒක සාධාරණද?”

චන්දික හතුරුසිංහ මහතා සම්බන්ධයෙන් උද්ගත වී ඇති ව්‍යාකූල තත්ත්වය පිළිබඳව ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පසුගිය සතිය ආරම්භයේ එසේ පැවසීය.  

ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ සේවය අවසන් කරන බව පසුගිය සඳුදා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය. හතුරුසිංහ මහතාට චෝදනා පත‍්‍රයක් යොමු කිරීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතන විධායක කමිටුව පසුගිය අඟහරුවාදා තීරණය කිරීමත් සමඟ පැවැති ගැටලුව නැවතත් අලුත් විය. 
එංගලන්තයේදී පසුගියදා අවසන් වූ එක්දින ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිල ප‍්‍රදර්ශනය කළ අසාර්ථකත්වයත් සමඟින් හතුරුසිංහගේ සේවය සහ ඔහු ලබන අති විශාල වැටුප පිළිබඳව දැඩි කථාබහක් නිර්මාණය විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ සියලුම පුහුණුකරුවන්ගේ සේවය අවසන් කරන ලෙස ක‍්‍රිකට් ආයතනයට දැනුම් දුන්නේය. 

හතුරුසිංහ රුපියල් ලක්‍ෂ 80කට ආසන්න දැවැන්ත මාසික වැටුපක් ලබන බව ප‍්‍රසිද්ධ රහසකි. එසේ වුවද එම දැවැන්ත මුදලට සරිලන සේවයක් ඔහුගෙන් මේ දක්වා ලැබී තිබෙද යන්න ගැටලුවකි. ඔහු 2018 වසරේ ජනවාරි මස සිට මේ දක්වා මාස 19ක කාලය සඳහා රුපියල් කෝටි 15 කට අධික මුදලක් වැටුප ලෙස ලබා තිබේ. එම කාලය තුළ ඔහුගෙන් දැවැන්ත මුදලට සරිලන සේවයක් ලැබී නොමැති බව අමුතුවෙන් කිවයුතු නැත. 

ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකාවේදී හතුරැසිංහ පැවසුවේ තමන්ට තවත් මාස 16ක කාලයක් ඉතිරිව ඇති බවයි. එසේ වුවහොත් ඔහුට තවත් රුපියල් කෝටි 12 කට අධික මුදලක් ලැබීමට නියමිතය. මෙම වැටුපට අමතරව ඔහුට වසරකට පිටු කිහිපයක වාර්තා දෙකක් වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 20 ක පමණ මුදලක් ලැබිය යුතු බවට ගිවිසුමට ඇතුළත්ව ඇති බවද දැනගන්නට තිබේ.

මෙම තත්ත්වය මත හතුරුසිංහට 2020 වසරේ ගිවිසුම අවසන් වනවිට රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් ලැබේ. මෙම මුදල් ක‍්‍රිකට් පරිපාලනය කරන ඇත්තන් දුක් මහන්සි වී උපයාගත් ඒවා නොවන අතර ක‍්‍රීඩකයන් දුක් මහන්සි වී ක‍්‍රිකට් ආයතනයට ගෙන එන මුදල්ය. පාලකයන් මෙවැනි ගිවිසුම්වලට එළඹීමට පෙර ඒවායේ ඇති බරපතළ තත්ත්වය පිළිබඳව අවධානය යොමුකළ යුතුව තිබුණි. නමුත් එවැනි දෙයක් සිදුවූයේ නැත. හතුරුසිංහ විශ්වකර්මයකු යැයි පවසා ඉල්ලන ඕනෑම දෙයක් දෙන ගිවිසුමකට ඔහු ගෙන ඒමේ ආදීනව දැන් ප‍්‍රදර්ශනය වේ. 

මෙහිදී ක‍්‍රිකට් බලධාරීන් මුදල් පමණක් නොව හතුරුසිංහට ඇති පදමට නැටීමට තේරීම් කමිටු සාමාජිකත්වයක්ද ලබාදුන්නේය. එම තනතුර හරහාද හතුරුසිංහ සීමාව ඉක්මවා යෑමෙන් පසුගිය වසර අගදී එය ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පියවර ගත්තේය. 

“දැන් එයාට ඩොලර් 40,000ක් ගෙවනවා නම් අපිට 25,000 කට හෝ 20,000 කට බස්සලා දිනන දිනන විදියට ගෙවීමේ ක‍්‍රමය හදන එක හොඳ නැද්ද කියන එක. ක‍්‍රීඩකයන්ටත් මෙගොල්ලන් දැන් පඩි දෙන්නෙ එහෙම නම් ඇයි පුහුණුකරුටත් දෙන්න බැරි කියන එක තමයි මගේ ඉල්ලීම වුණේ” හතුරුසිංහට ලබන දැවැන්ත වැටුප පිළිබඳව ක‍්‍රීඩා අමාත්‍යවරයා එසේ අදහස් දැක්වීය. 

අමාත්‍යවරයාගේ ප‍්‍රකාශයේ සත්‍යතාවක් තිබේ. හතුරුසිංහට ගෙවන වැටුප වහාම අඩු කළ යුතුය. එසේ නොවේ නම් ඔහු ඉවත් කළ යුතුය. එසේ වුවද ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සහ හතුරුසිංහ අතර ඇති ගිවිසුමට අනුව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ඔහුගේ ගිවිසුම අවසන් කළ නොහැකි බව දැනගන්නට තිබේ. 

“හතුරුසිංහ ඉවත් කරන්න බෑ. ඕක හැදුවේ මමනේ. මම දන්නවනේ” යැයි ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු මහ උජාරුවෙන් පවසා තිබුණි. මෙම ප‍්‍රකාශය පිළිබඳව කළ විමසුමේදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවසුවේ හතුරුසිංහ සමඟ ඇති ගිවිසුම අවසන් කිරීමට ක‍්‍රිකට් ආයතනයට ප‍්‍රතිපාදන ඇති බවයි. හතුරුසිංහගේ ඉදිරි පියවර කුමක්ද යන්න පිළිබඳව බොහෝ දෙනෙක් බලා සිටිති.

 වරකාගොඩ ගමගේ

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00