2019 අගෝස්තු 03 වන සෙනසුරාදා

මාලිංගගේ විස්සයි 20 තේරීම

 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 187

“මම නායකයා නම් මමනේ මැද්දට යන්නෙ. වෙන කෙනෙක් කියන දෙයක්, ඉගෙන ගත්ත කෙනෙක් මට මැදට අරන් යන්න බෑ. මැදට අරන් යන්නෙ මම නම් එයාගෙන් ගන්න වැඩේ දන්නෙ මම නම්, මොනවද පුහුණුවීම් කරලා තියෙන්නේ කියලා දන්නේ මම නම්, මම පුහුණුකරුට කියන්න ඕනේ මට මෙයාගෙන් මේ දේ ඕන කියලා. මම හරිම සරලව මගේ ඒ ප‍්‍රතිපත්තිය කියලා බලනවා. ප‍්‍රතිචාරය කොහොමද කියලා බලනවා. නැත්නම් ඉතින් බායි කියලා යනවා” යැයි ලසිත් මාලිංග තේරීම් සම්බන්ධයෙන් පැවසීය. 

කොළඹ ආර්. ප්‍රේමදාස ක‍්‍රීඩාංගණයේදී බංග්ලාදේශයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී එක්දින පිටියෙන් සමුගැනීමෙන් පසුව මාලිංග විස්සයි20 කණ්ඩායමට ක‍්‍රීඩකයන් තෝරාගැනීම පිළිබඳව එසේ අදහස් දැක්වීය. ඕස්ට්‍රේලියාවේදී ලබන වසරේ පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී තමන් නායකයා ලෙස කටයුතු කරන බවත් එළඹෙන නවසීලන්ත සංචාරයේ විස්සයි20 තරගාවලියේ සිට කණ්ඩායම තේරීමේදී සෘජුව මැදිහත් වන බවත් මාලිංග එහිදී දැඩිව පැවසීය. 

“මම දැන් කාලයක් බලාගෙන හිටියනේ. මේක යටටම වැටෙනකන් බලාගෙන හිටියනේ. ඒ නිසා පුහුණුවීම් වෙන්නෙ කොහොමද? ඒ පුහුණුවීම් ඇතුළෙදී මොනවගේ පුහුණුවීම්ද වෙන්න  ඕනෙ කියලා තීරණය කරනවා. මම අයි.පී.එල්. ක‍්‍රිකට් ගහලා මොනවද කරන්න  ඕනෙ කියලා දළ අදහසක් තියෙනවා. මොනවගේ ක‍්‍රීඩකයෝද ඕනේ. මොනවගේ අවස්ථාවන්වල ගහන අයද ඕනේ. මගේ අදහස් තියෙනවා මේ ගේම් එකට ගැලපෙන ක‍්‍රීඩකයන් 20 ක 25 ක සංචිතයක් හදාගන්න. අපිට ලෝක කුසලානයට පෙර තරග 19ක් තියෙනවා. අපිට ලෝක කුසලානයට ගිහිල්ලා කියන්න බෑ මේ දේ කරන්න බෑ කියලා.”

මාලිංග නායකයකු සහ ක‍්‍රීඩකයකු හැටියට කළ ඉහත ප‍්‍රකාශය අගය කළ යුතුය. අසන්ත ද මෙල්ගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව එංගලන්තයේදී පසුගියදා අවසන් වූ එක්දින ලෝක කුසලාන තරගාවලියට රැගෙන ගිය සංචිතය පිළිබඳව දැවැන්ත විරෝධයක් තිබුණද එම තේරීම් කමිටුව තවත් කණ්ඩායම් තෝරමින් සිටියි. අසන්ත ද මෙල්ගේ සෘජු මැදිහත්වීමෙන් තෝරාගත් එම කණ්ඩායම සමඟ ක‍්‍රීඩා කිරීමෙන් නායක දිමුත් කරුණාරත්න අමාරුවේ වැටුණු ආකාරය අමුතුවෙන් කිවයුතු නැත. 

එම තරගයෙන් පසුව දිමුත් පැවසුවේ වැන්ඩසේ ක‍්‍රීඩා කිරීමේ තීරණය ඔහු ගත් එකක් බවයි. කෙසේ වෙතත් එම ප‍්‍රකාශයෙන් විනාඩි කිහිපයක් ගතවීමට පෙර දිමුත්ගේ කටින් පිටවූයේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවට කොතැනක හෝ වැරුදී ඇති බවයි. එවැනි වැරැද්දක් නොවීමට මාලිංග පියවර ගනු ඇතැයි ඔහුගේ ප‍්‍රකාශයෙන් සිතිය හැකිය. මාලිංගට ළඟාවීමට ඉලක්කයක් හෝ රැකගැනීමට ඔටුන්නක් නැත. ක‍්‍රිකට් ලෝකයේ මාලිංග නාමයට ඕනෑම තැනක ඉඩක් වෙන්ම තිබේ. ඒ හේතුවෙන් ඔහු අවශ්‍ය අවස්ථාවේත් අනවශ්‍ය අවස්ථාවේත් වචන හරඹයේ යෙදේ. 

මෙය මාලිංග වචනයෙන් මෙන්ම තීරණවලින්ද කෙළින් සිට ගැනීම වඩාත් වැදගත් අවස්ථාවකදී එසේ නොවුණහොත් අසන්ත ද මෙල් ප‍්‍රමුඛ තේරීම් නඩය විස්සයි20 ලෝක කුසලාන තරගාවලියටද ජෙෆ්රි වැන්ඩසේ, ජීවන් මෙන්ඩිස් සහ මිලින්ද සිරිවර්ධන වැනි ක‍්‍රීඩකයන් සංචිතයට ඇතුළත් කිරීමට ඉඩ තිබේ. 

මෙය මාලිංගගේ වගකීමක් පමණක් නොවනු ඇත. ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතාටද දැඩි වගකීමක් තිබේ. සංචිතයට අනුමැතිය දීමේදී සහකාර අධ්‍යක්‍ෂවරයකු ලවා අත්සන යෙදවීමට වඩා වගකීමක් අමාත්‍යවරයාට දැරිය යුතුය. ක‍්‍රීඩා අමාත්‍යවරයා ‘කටින් බතල’ න්‍යායෙන් මිදී වගකීම ඉටුකළ යුතුය. ලෝක කුසලාන තරගාවලිය අවසන් වී දින 20 කට ආසන්න කාලයක් ගතවී තිබුණද ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ උඩු යටිකුරු වෙනස කෙසේ වෙතත් කිසිදු වෙනසක් සිදුවී නැත. 
ශ්‍රී ලංකා කණ්ඩායම උඩු යටිකුරු කිරීමට නම් පළමු පියවර ලෙස අසන්ත ද මෙල්ගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව ගෙදර යැවීම අනිවාර්ෙයන් කළ යුතුය. 

 වරකාගොඩ ගමගේ

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00