2019 ජුලි 13 වන සෙනසුරාදා

හෙට දවසේ කැප්ටන් දිමුත්ගේ වගකීම

 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 187

ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ හයවැනි ස්ථානයට පත්වීම පිළිබඳව ශ‍්‍රී ලංකා පිලේ නායක දිමුත් කරුණාරත්න, ලීඩ්ස්හිදී ඉන්දියාවට එරෙහිව පැවැති අවසන් තරගයෙන් පසුව තරමක අධි තක්සේරැවකින් යුතුව අදහස් දැක්වීය. 

“අපි ලංකාවෙන් එන අවස්ථාව වනවිට අපේ කණ්ඩායම හොඳට ක‍්‍රීඩා කරයි කියලා කවුරුත් හිතුවෙ නෑ. ඇෆ්ගනිස්ථානයට එරෙහි තරගයවත් ජය ලබයි කියලා හිතුවේ නෑ. එහෙම තත්ත්වයක් තිබුණේ. අපි හයවැනි ස්ථානයේ තරගාවලිය අවසන් කරයි කියලත් කවුරුත් හිතුවේ නෑ” යැයි එහිදී දිමුත් පැවසීය.

ඇෆ්ගනිස්තානයට එරෙහිව තරගයෙන් දින 36 කට පසුව දිමුත්ට එම තරගය ජය ලැබුවේ කෙසේ යන්න අමතක වී තිබුණද ක‍්‍රිකට් ක‍්‍රීඩාව පිළිබඳව අවධානයෙන් සිටින බොහෝ දෙනකුට එම ජයග‍්‍රහණය මතකයේ තිබේ. වර්ෂාවෙන් පසුව නුවන් ප‍්‍රදීප්ගේ අනපේක්‍ෂිත දක්‍ෂ පන්දු යැවීම නොවන්නට එම තරගයද ශ‍්‍රී ලංකාවට ජයගැනීම අසීරු වීමට ඉඩ තිබිණි.

පාකිස්තානයට සහ බංග්ලාදේශයට එරෙහිව තරග දෙකම වර්ෂාව හේතුවෙන් අතහැර දැමිණි. තරගාවලිය ආරම්භයේ ශ‍්‍රී ලංකා පිල ක‍්‍රීඩාකළ ආකාරය අනුව එම තරග ජය ලැබීමට තිබූ ඉඩ ඉතාමත් අඩුවන අතර ඒ වනවිට බංග්ලාදේශය වඩාත් ප‍්‍රබලව සිටියේය. එම තරග දෙකෙන් ප‍්‍රසාද ලකුණු බැගින් ලැබී ශ‍්‍රී ලංකාවට ප‍්‍රසාද ලකුණු දෙකක් එකතු විය. මෙවර ලෝක කුසලාන තරගාවලියේ තරග දෙකක්ම වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමෙන් ප‍්‍රසාද ලකුණු දෙකක් ලැබුණු එකම කණ්ඩායම ශ‍්‍රී ලංකාව වේ.  

‘කට බොරු කිව්වත් දිව බොරු නොකියන’ බවට ශ‍්‍රී ලංකා ජනවහරේ කියමනක් තිබේ. දිමුත් ඉහත ප‍්‍රකාශ කර විනාඩි දෙක තුනක් ගතවීමට පෙර පැවසුවේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ කඩා වැටීමට හේතුව කොතනකදී හෝ සිදුවූ වැරැද්දක් බවයි.
“අපිට කිසියම් හෝ තැනක වැරැද්දක් වෙලා තියෙනවා. ඒකයි අපි මේ තත්ත්වයේ ඉන්නේ. ක‍්‍රීඩකයන් හැටියට අනෙක් කණ්ඩායම් සමඟ සැසදීමේඳී අපිට අත්දැකීම් අඩු ක‍්‍රීඩකයන් සිටියේ” යැයි දිමුත් ප‍්‍රධාන ගැටලුවට අත තැබුවේය.

“ඉසුරු උදාන කොහෙද හිටියෙ කියලවත් දන්නේ නෑ. ඔහු වෙනත් රටවල්වල ලීග් තරගාවලිවලට ක‍්‍රීඩා කරලා දකුණු අප‍්‍රිකානු තරගාවලියේ හොඳට ක‍්‍රීඩා කරලා මේ ලෝක කුසලානයටත් ක‍්‍රීඩා කළා. දේශීය තරගාවලියෙන් පමණක් කොහොමද ක‍්‍රීඩකයන් බලන්නෙ කියන එක තමයි ප‍්‍රශ්නය. ක‍්‍රීඩා කරන්න කරන්න තමයි අත්දැකීම් වැඩි වෙන්නේ” යැයි දේශීය තරගාවලියේ දුර්වලතාව සහ අත්දැකීම් අතර ඇති සම්බන්ධය පැහැදිලි කළේය. දිමුත් එම තරගයට පෙරදින මාධ්‍ය හමුවේදී ශ‍්‍රී ලංකා දේශීය තරගාවලියේ ඇති දුර්වලතාව පිළිබඳව කරුණු දැක්වීය.

දිමුත් මේ තත්ත්වය යැයි පැවසුවේ කණ්ඩායමේ නියම මට්ටම පිළිබඳව ඔහු හොඳින් දැනගෙන සිටීමයි. මෙය දිමුත් නායකයා ලෙස කටයුතු කළ පළමු තරගාවලිය නිසා ඔහුට මෙහි තේරීම්වලට බලපෑම් කිරීමට එතරම් අවස්ථාවක් නොතිබූ බව පිළිගත යුතුය. නමුත් ඉදිරියේදී දිමුත්ට ඒ අවස්ථාව ඇති අතර එය මඟ නොහැරීමට දිමුත් වගබලාගත යුතුය.

ළහිරු තිරිමාන්න, තිසර පෙරේරා, කුසල් මෙන්ඩිස්, ජීවන් මෙන්ඩිස්, ජෙෆ්රි වැන්ඩසේ නැවත සංචිතයට ඇතුළත් කරන්නේ නම් දිමුත් නැගී සිටිය යුතුය. අද සිටම ලබන ලෝක කුසලාන තරගාවලියට ශක්තිමත් කණ්ඩායමක් නිර්මාණ කිරීමට අත ගැසිය යුතුය. කුසල් මෙන්ඩිස්, සහ තිසර පෙරේරා, එංගලන්ත තරගයේදී සහ කොදෙව් තරගයේදී බිම දැමූ උඩපන්දු එම තරග දෙක පරාජය වූයේ නම් වඩාත් තීරණාත්මක වේ. ඒ හේතුවෙන් මෙම දෙපළ පිළිබඳව වැඩි අවධානයක් යොමුකළ යුතුය.

දිමුත් ප‍්‍රකාශ කළ පරිදි දේශීය තරගාවලියේ ප‍්‍රමිතිය, ක‍්‍රීඩකයන්ට විදේශ තරගාවලිවලට ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව ලබාදීම වැනි කරුණු පිළිබඳව ඔහු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කරනවාද යන්න පිළිබඳව බොහෝ දෙනා බලා සිටිති.

 යොහාන් භාසුර, ලන්ඩන් නුවර සිට...