2017 මාර්තු 04 වන සෙනසුරාදා

බංගලාදේශයෙන් පළමු වරට ශ්‍රී ලංකාවට අභියෝගයක්

 2017 මාර්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 76

බංග්ලාදේශ පිලට එරෙහිව මේ මස 7 වැනිදා ගාල්ලේදී ආරම්භ වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයෙන් ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා ඉවත් කිරීම එතරම් සාධාරණ නොවන බව ක‍්‍රිකට් ජ්‍යෙෂ්ඨයෝ පවසති. කෞෂාල් සිල්වාට වඩාත් අසීරු තරගාවලියක් වූ දකුණු අප‍්‍රිකානු තරගාවලිය ලබාදී බංග්ලාදේශය වැනි පහසු යැයි හැඟෙන තරගාවලියකදී ඉවත් කිරීම එතරම් සාධාරණ නොවන බවත්, දකුණු අප‍්‍රිකානු සංචාරයේ අසාර්ථකත්වය මත කෞෂාල් ඉවත් කිරීමට පෙර ඔහුට ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ හෝ අවස්ථාවක් ලබාදීමේ හැකියාව තිබුණු බවත් ඔවුහු කියති.

දකුණු අප‍්‍රිකානු තරගාවලිය නිර්ණායක ලෙස යොදා ගත්තේ නම් දිමුත් කරුණාරත්න ද මෙම සංචිතයේ සිටිය නොහැකිය. කෙසේ වෙතත් දිමුත්ට ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහභාගි වූ එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව තරග දෙකම ලබාදුන් අතර ඔහු අවසන් තරගයේදී ද්විත්ව ශතකයක් රැස් කළේය. කෞෂාල් ඉවත් කිරීමෙන් හිස්වූ ආරම්භක පිතිකරු ස්ථානයට නිරෝෂන් දික්වැල්ල කැඳවා තිබේ. දික්වැල්ල පසුගිය එක්දින සහ විස්සයි20 තරගාවලි කීපයකදීම ආරම්භක පිතිකරැ ලෙස සාර්ථක වූ අතර ටෙස්ට් පිලට කැඳවීමෙන් ඔහුගේ රිද්මය වෙනස්වීමේ අවදානමක් තිබේ. 

වසර ගණනාවක සිට කඩුලු බුරුතු පිටින් දවාගත්තද ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ හෝ අවස්ථාව නොලැබුණු වමතින් දඟපන්දු යවන මාලින්ද පුෂ්පකුමාර මෙම සංචිතයට ඇතුළත්ව සිටියි. එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ පැවැති නිල නොවන ටෙස්ට් තරගයේදී කඩුලු 13 ක් දවා ගැනීමෙන් මාලින්දට ටෙස්ට් සංචිතයට පැමිණීමට පාර කැපුණි. 

වේග පන්දු යවන දුෂ්මන්ත චමීර මෙම තරගාවලියට සහභාගි නොවේ. වසරකට අධික කාලයක් ආබාධයකට ලක්ව පසුගිය දකුණු අප‍්‍රිකානු ටෙස්ට් සංචාරයට සහභාගි වූ චමීර නැවතත් ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වේ. එම ස්ථානයට මෙම ටෙස්ට් සංචිතයට සංජය බණ්ඩාර කැඳවා සිටියි. සංජය, ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති විස්සයි20 තරගාවලියේදී දස්කම් දැක්වූ අතර ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳ ආයෝජනයක් විය හැකි බවට ඕස්ට්‍රේලියාවේදී ප‍්‍රදර්ශනය කළේය. 

දකුණු අප‍්‍රිකානු සංචාරයේ අසාර්ථකවීම නිසා එක්දින සහ විස්සයි20 පිලේ ස්ථානය අහිමිවූ උපනායක දිනේෂ් චන්දිමාල් මෙම සංචිතයට ඇතුළත්ව සිටියි. කෙසේ වෙතත් චන්දිමාල් උප නායකයා ලෙස නම් කර නොමැත. ඇන්ජලෝ මැතිව්ස්ගේ ආබාධය සුව අතට පත්නොවීම හේතුවෙන් මෙම තරගාවලියේදී ටෙස්ට් පිලේ නායකයා ලෙස රංගන හේරත් පත්කරනු ලැබ සිටී.

බංග්ලාදේශ ටෙස්ට් පිලේ නායක මුෂ්ෆිකර් රහීම් මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව ටෙස්ට් තරගයකදී පරාජයට කිරීමට කළ හැකි යැයි කළ ප‍්‍රකාශයත් සමඟ මෙම තරගාවලියට ක‍්‍රිකට් ලෝලීන්ගේ අවධානය යොමු වෙමින් තිබේ. ශ්‍රි ලංකාවට එරෙහිව කොළඹදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය බංග්ලාදේශයේ 100 වැනි ටෙස්ට් තරගයද වන හෙයින් මෙම තරගාවලිය පිළිබඳ බංග්ලාදේශ බලාපොරොත්තුවක් තබා ඇති බවක් පෙනේ. බංග්ලාදේශ පිලේ නායකයාගේ එම ප‍්‍රකාශයත් සමඟ රංගන හේරත් ඇතුළු ශ්‍රී ලංකා පිලට අමතර පීඩනයක් යොමු වී තිබේ. 
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ දක්වා ටෙස්ට් තරග 16 ක් පවත්වා ඇති අතර ඉන් තරග 14 ක් ශ්‍රී ලංකාව ජය ලබා ඇති අතර ඉතිරි තරග දෙක විසඳුමකින් තොරව අවසන් වී තිබේ.   

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය:

රංගන හේරත් (නායක), දිමුත් කරුණාරත්න, නිරෝෂන් දික්වැල්ල, උපුල් තරංග, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, අසේල ගුණරත්න, දිනේෂ් චන්දිමාල්, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, නුවන් ප‍්‍රදීප්, සංජය බණ්ඩාර, ඩිල්රුවන් පෙරේරා, ලක්‍ෂාන් සඳකැන් සහ මාලින්ද පුෂ්පකුමාර

 සටහන: යොහාන් භාසුර