2019 ජුනි 29 වන සෙනසුරාදා

ශ්‍රී ලංකාව හිස ඔසවයි

 2019 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 93

ශ‍්‍රී ලංකා පිල ලීඩ්ස්හිදී පසුගිය සෙනසුරාදා සත්කාර එංගලන්ත පිල ලකුණු 20කින් පරාජය කරමින් මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තු ඉදිරියට ගෙන යෑමට සමත් විය. එම තරගයේ ජයග‍්‍රහණයෙන් පසුව ශ‍්‍රී ලංකා පිලේ නායක දිමුත් කරුණාරත්න පැවසුවේ තම කණ්ඩායම ලොකු ඉලක්කවලට නොයන බවත් තරගයෙන් තරගය ඉදිරියට යෑම සැලැස්ම බවත්ය. 

“අවසන් පූර්ව වටයට පිවිසීම කියන ඉලක්කය නොවෙයි අපේ තියෙන්නේ. ගොඩක් ඉදිරිය කියලා හිතන්නෙ නෑ. එහෙම හිතන එක එච්චර හොඳ නෑ. තරගයෙන් තරගයට ඉදිරියට යෑම අපේ සැලසුමයි” යැයි දිමුත් වැඩිදුරටත් පැවසීය.
ශ‍්‍රී ලංකාව පසුගිය සිකුරාදා දකුණු අප‍්‍රිකානු පිලට එරෙහිව තරගයට ඩර්හැම්හිදී සහභාගි වීමට නියමිතව තිබුණි. එම තරගය වෙනසට මුල පුරණ තරගයක් බවට පත්ව තිබූ අතර දකුණු අප‍්‍රිකාව පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවතට විසිවී සිටින තත්ත්වයක් තුළ ඔවුන්ට පීඩනය යොමු කිරීමේ ශ‍්‍රී ලංකාවට වැඩි අවස්ථාව තිබුණි.

ශ‍්‍රී ලංකාව හෙට (01) ඩර්හැම්හිදීම බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව තරගයට ක‍්‍රීඩා කිරීමට නියමිතය. එම තරග දෙකම ජය ලැබුවහොත් ශ‍්‍රී ලංකාවට පළමු වටයේ අවසන් තරගයේදී ඉන්දියාවට එරෙහිව සැහැල්ලු මනසින් යුතුව ක‍්‍රීඩා කිරීමේ මඟ පෑදේ. එය එතරම් පහසු කටයුත්තක් නොවූවද කළ හැකිද වේ. එංගලන්තයට එරෙහිව තරගයේදී කාලයකට පසුව ශ‍්‍රී ලංකා පිල අංශ තුනෙන්ම දස්කම් ප‍්‍රදර්ශනය කළේය.

එහිදී යොවුන් පිතිකරු අවිශ්ක ප‍්‍රනාන්දුගේ පිතිහරඹය අමතක කළ නොහැකිය. ආරම්භක පිතිකරුවන් දෙපළ ලකුණු තුනක් තුළ දැවී ගොස් සිටියදී අවිශ්ක කිසිදු චකිතයකින් තොරව වේගපන්දු යවන ජොෆ්රා ආචර්ට පහර දුන් ආකාරය ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අනාගතයට සුබ පෙරනිමිත්තකි. එම අවස්ථාවේදී අවිශ්ක පිත්ත සඟවාගෙන ලකුණු රැස්කළේ නම් ආචර් සහ එංගලන්ත වේගපන්දු යවන්නන් ග‍්‍රහණය තවත් වැඩි කරනවාට සැක නැත. එසේ වූයේ නම් අවිශ්කට ලකුණු 49 ක් රැස්කිරීමේ අවස්ථාව පවා අහිමිවීමට ඉඩ තිබුණි.

අවිශ්ක ‘තර්ඩ්මෑන්’ ස්ථානයට ඉහළින් පන්දුව ස්ථානගත කිරීමෙන් උඩ පන්දුවක්දී දැවී ගිය අතර එය පහතට ස්ථානගත කළේ නම් ඔහුට පහසුවෙන් අර්ධ ශතකට යෑමේ අවස්ථාව තිබුණි. අවිශ්කට තරග අත්දැකීම් අවශ්‍ය බව ඉන් ප‍්‍රදර්ශනය කළ අතර ඔහුට අඛණ්ඩව අවස්ථාව දීම එයට එකම විසඳුම වේ. ඇන්ජලෝ මැතිව්ස් අන්තයක් ආරක්‍ෂා කරගනිමින් නොදැවී රැස්කළ ලකුණු 85න් මැද ශක්තිමත් විය.

ශ‍්‍රී ලංකාවට ලකුණු 232ක ආරක්‍ෂා කරගැනීමේදී ලසිත් මාලිංගගේ පන්දු යැවීම තීරණාත්මක සාධකය විය. මාලිංග එහිදී එංගලන්ත පිලේ ප‍්‍රබතම පිතිකරුවන් වන ජොනී බෙයාස්ටෝ, ජෝ රූට් සහ ජෝස් බට්ලර් ඇතුළු කඩුලු හතරක් දවාගත්තේය. බෙන් ස්ටොන්ස්ගේ උඩ පන්දුව කුසල් මෙන්ඩිස් රැකගත්තේ නම් මාලිංගගේ නම ඉදිරියෙන් කඩුලු පහක් සටහන් වේ. 

ධනංජය ද සිල්වා ක‍්‍රියාත්මක වෙමින් මුයින් අලී සහ ක‍්‍රිස් වෝක්ස් දවා ගැනීමෙන් මාලිංගගේ වේග පන්දුව යැවීමට දඟපන්දු යැවීමද මුසුවී එංගලන්ත පිල අමාරුවේ වැටුණි.

මෙම ජයග‍්‍රහණයට ඉසුරු උදානගේ දක්‍ෂ පන්දු රැකීම ද තීරණාත්මක විය. ඉසුරු උදාන, එංගලන්ත නායක ඔයින් මෝගන් දවාගැනීමට පන්දු යවමින් රැකගත් අනගි උඩ පන්දුව සහ මුයින් අලී දවාගැනීමට හතරේ සීමාව අසළදී රැකගත් උඩ පන්දුව වඩාත් කැපී පෙනුණි.

කෙසේ වෙතත් මෙම තරගයේදී ද ශ‍්‍රී ලංකා සංචිතයේ ලෝක කුසලාන ප‍්‍රමිතියේ ක‍්‍රීඩකයන්ගේ අඩුවක් ඇති බව දැනුණි. මෙම තරගයට කැඳවූ ජීවන් මෙන්ඩිස් අංක හය ස්ථානයේ පන්දුවට පහර දෙමින් පළමු පන්දුවේදීම ඉතාමත් ප‍්‍රාථමික අකාරයට දැවී යෑම කණ්ඩායම අවදානමකට ලක්විය. ජීවන් පන්දු යවන්නකු ලෙසද අසාර්ථක වෙමින් ඔහු යැවූ ඕවර තුනට ලකුණු 23 ක් ලබාදුන්නේය.

ශ‍්‍රී ලංකාව මේ වනවිටත් පත්ව සිටින්නේ ‘තියෙන බෙරයෙන් තොයිලය නැටිය යුතුයි’ වැනි අවස්ථාවකටය. දිමුත් කරුණාරත්න පැවසුවේ මැද පෙළ වෙනස් කිරීමට ක‍්‍රීඩකයන් නොමැති බවත් ඉන්න ක‍්‍රීඩකයන්ගෙන්ම ක‍්‍රීඩා කළ යුතු බවත්ය. එයට අසන්ත ද මෙල් ප‍්‍රමුඛ තේරීම් කමිටුව වගකිව යුතුය. දැන් ඒවා කථා කිරීමෙන් පළක් නැත.

ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පසුගිය දින ශ‍්‍රී ලංකාවේදී පවසා තිබුණේ ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ක‍්‍රිකට් ක‍්‍රීඩාව උඩු යටිකුරු කර වෙනසක් කරන බවයි. එසේ කරන්නේ නම් තේරීම් කමිටුවද අනිවාර්යෙන් උඩු යටිකුරු කළ යුතුය. කෙසේ නමුත් ශ‍්‍රී ලංකා පිල සිහිබුද්ධියෙන් ක‍්‍රීඩා කළහොත් මෙම තරගාවලියේ අවසන් පූර්ව තරගයට පැමිණීමට ඕනෑවටත් වඩා අවස්ථාව තිබේ.   

 යොහාන් භාසුර
     එංගලන්තයේ ඩර්හැම් සිට...