2017 මාර්තු 04 වන සෙනසුරාදා

ගෝරිකාරයන්ගෙන් මුදාගත යුතු පාසල් රග්බි මහ ක්‍රිකට් තරග

 2017 මාර්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 110

පාසල් රග්බි පිටිය වසර කීපයක සිට යුද පිටියක් කිවහොත් නිවැරදිය. ඇතැම් පාසල් මහ ක‍්‍රිකට් තරගද උපන් ගෙයිම ආදි ශිෂ්‍යයන් අතර ගුටිබැට හුවමාරුවට ප‍්‍රසිද්ධයක් උසුලයි. මහ ක‍්‍රිකට් තරග අතරතුරදී ජීවිත කීයක් අකාලයේ බිලිගෙන තිබේද යන්න ඉතිහාසයෙන් අසා දැනගත යුතුය. අධ්‍යාපන අමාත්‍යංශය මහ ක‍්‍රිකට් තරගවලදී ක‍්‍රීඩකයන්ගේ විනය පිළිබඳව කටයුතු කිරීමට විශේෂ නිලධාරියකු සෑම තරගයකටම පත්කිරීමට පසුගිය සතියේ තීරණය කර තිබුණි. එහිදී ක‍්‍රීඩකයන්ගේ විනය පිළිබඳව පමණක් අවධානයට යොමු කිරීමට නියමිතය.

පාසල් රග්බි සහ මහ ක‍්‍රිකට් තරග සමය පසුගිය සතියේ ආරම්භ වූ අතර මෙවරද පොලිසියට වැඩ අධික වනු ඇති බවට පළමු සතියේදීම ඉඟි පළ කළේය. එහි ආසන්නතම සිද්ධිය මෙවර වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයේදීම දකින්නට ලැබුණි. 

මහනුවර ත‍්‍රිත්ව විදුහල සහ වෙස්ලි විදුහල අතර සී. ආර්. පිටියේදී පැවැති තරගයේ ක‍්‍රීඩකයන් දෙදෙනකු අතර ඇති වූ සිද්ධිය පසුව සමතයකට පත්කළ නොහැකි තරමේ ගැටුමක් බවට පත්විය. එම ගැටුමට වෙස්ලි විදුහල අතිරේක ක‍්‍රීඩක බංකුවේ සිටි ක‍්‍රීඩකයන්ද මැදිහත් වීමෙන් ගැටුම වඩාත් බරපතළ විය. මෙහි වඩාත් බරපතළ තත්ත්වය වන්නේ මහනුවර ත‍්‍රිත්ව විදුහල පසුගිය වසරේ පහරදීමේ සිද්ධියක් හේතුවෙන් නාමික තහනමකට ලක්ව නැවතත් පැමිණි කණ්ඩායමක් වීමය.  
තරගයක් අතරතුරදී ක‍්‍රීඩකයන් අතර ගැටුම් ඇතිවීම සාමාන්‍ය තත්ත්වයකි. විශේෂයෙන්ම පාසල් දරැවන් අතර එවැනි දේවල් වීම සාමාන්‍ය දෙයකි. නමුත් එම ගැටුම සෙසු ක‍්‍රීඩකයන්ට සම්බන්ධ වෙමින් මිනීමරා ගන්නා තත්ත්වයට පත්වීම කණගාටුදායකය.  ක‍්‍රීඩාව යනු ඉවසීම, සෙසු පුද්ගලයන් සමඟ සම්බන්ධව කටයුතු කිරීම, ජය පරාජය දරා ගැනීම ආදිය ප‍්‍රගුණ කරන පාඩමකි. කෙසේ වෙතත් මේ වනවිට පාසල් රග්බි ක‍්‍රීඩාව කෙසේ හෝ ජය ලැබීම ප‍්‍රගුණ කරන මාරක යුද්ධයක් බවට පත්ව තිබේ.

පසුගිය වසරේ වයස 20 න් පහළ රග්බි තරගාවලියේදී ක‍්‍රීඩකයන් අතර ගුටිබැට හුවමාරැ සාමාන්‍ය තත්ත්වයක් බවට පත්විය. එම සිද්ධීන්වලට දුන් දඬුවම් කැකිල්ලේ තීන්දුවලට සමානය. බල්ලගේ වැඩේ බූරුවා ඉටුකළාක් මෙන් පසුගිය වසරේද රග්බි තරගවල ගුටි බැට සිද්ධීන්වලට දඬුවම් පැනවීම අධ්‍යාපන අමාත්‍යංශය බාර ගත්තේය. පාසල් රග්බි සංගමයේ විනය කමිටුව කළ යුතු කාර්යයක් අධ්‍යාපන අමාත්‍යංශය ඉටු කිරීමට ඇති නීතිමය හැකියාව පිළිබඳව බොහෝ දෙනකු ප‍්‍රශ්න කරති. 
අධ්‍යාපන අමාත්‍යංශයේ මහදැනමුත්තෝ පසුගිය වසරේ ඇති වූ ගුටිබැට හුවමාරු දෙකකට මහනුවර ධර්මරාජ විදුහලට මාස 9ක තහනමක් ද, මහනුවර ත‍්‍රිත්ව විදුහලට මාස 6ක තහනමක් පැනවුවද එය පුස්සක් බව පැනවූ දිනයේම පැහැදිලි විය. එම පාසල් දෙකම මෙවර තරගාවලියේ පළමු තරගයේ සිට සහභාගි වන අතර එය එසේ නම් ඔවුන්ට දඬුවමක් ලැබී නොමැති බව ඉතාමත් පැහැදිලිය.
මෙහිදී අධ්‍යාපන ආමාත්‍යංශයේ නිලධාරීන් කීප දෙනකු එකතු වී එම පාසල්වලට මෙවර තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව ලැබෙන පරිදි කිසිදු පදනමක් නොමැති දඬුවමක් පැනවූ බවට චෝදනා එල්ල විය. ධර්මරාජ විදුහල් ක‍්‍රීඩකයන් සහ පේ‍්‍රක්‍ෂකයන් පහර දීමෙන් මරදාන ශාන්ත ජෝශප් විදුහල් ක‍්‍රීඩකයන් කීප දෙනකු බරපතළ තුවාල ලැබූ අතර ඔවුහු රෝහල්ගතවද ප‍්‍රතිකාර ලබා ගත්හ. 

ත‍්‍රිත්ව විදුහල සහ රාජකීය විදුහල අතර බ‍්‍රැඩ්බි පළිහ දෙවැනි අදියර තරගයෙන් පසුව රාජකීය විදුහල් ක‍්‍රීඩකයන්ට පහර දීමේ චෝදනාව ත‍්‍රිත්ව විදුහලට එල්ල විය. පසුගිය වසරේ පැවැති තරගයේදී කේරී විදුහල් ක‍්‍රීඩකයන් සිරි පියරතන විදුහල් ක‍්‍රීඩකයන්ට පහර දීමේ සිද්ධියකට කේරී විදුහලට ද තහනමක් පැනැවිණි. මෙවැනි පුස් දඬුවම් පැනවීම තුළින් ක‍්‍රීඩකයන්ට, පුහුණුකරුවන්ට සහ ආදි ශිෂ්‍යයන්ට අනතුරු හැඟවීමක් කළ නොහැකි අතර කෙසේ හෝ තරගය ජය ලැබීමේ උනන්දුව තව තවත් වැඩි කරයි. එය එසේ වුවහොත් රග්බි සහ පාසල් මහ ක‍්‍රිකට් තරග නැරඹීමට ක‍්‍රීඩාංගණයට පැමිණීම භයානක ගමනක් බවට පත්වීමට ඉඩකඩක් තිබේ.
මහනුවර නිත්තවෙලදී පසුගිය ඉරිදා පැවැති අන්තර් සමාජ රග්බි අවසන් මහ තරගයක් නැරඹීමට පැමිණි හැව්ලොක්ස් පිලේ ආධාරකරුවන් තරගය අවසන් වීමෙන් පසුව දැඩි අපහසුතාවට පත්වූ ආකාරය දැකගත හැකි විය. එහිදී තරගය අවසන් වීමෙන් පසුව දහසක පමණ පිරිසක් හැව්ලොක්ස් පිලේ ආධාරකරුවන්ට පහර දීමට පැමිණි අතර ගුටි බැට හුවමාරුවක් ද දැකගත හැකි විය. ක‍්‍රීඩකයන්ගේ මෑණිවරුන්ට සහ සහෝදරියන්ට පරුෂ වචනයෙන් බැණ වැදුණ ආකාරය ක‍්‍රීඩාවට කිසිසේත්ම නොගැලපේ. 

පාසල් රග්බි සංගමයේ නිලධාරීන් ලෙස කටයුතු කරන ගුරුවරුන් විහිළු සපයන්නන් බවට පත්විය යුතු නැති අතර බාරගත් රාජකාරිය කළ නොහැකි නම් අතහැර දමා යා යුතුය. ශ්‍රී ලංකාවේ රග්බි සහ පාසල් මහ ක‍්‍රිකට් තරග ආරක්‍ෂා කර ගැනීමට නම් අධ්‍යාපන බලධාරීන් සහ ආරක්‍ෂක අංශ කෂේරුකාව කෙළින් තබාගෙන කටයුතු කළ යුතුය. 

 සටහන: වරකාගොඩ ගමගේ

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00