2019 ජුනි 22 වන සෙනසුරාදා

බස් එක පොඩි වුණාට පිච් එක කොළ පාට වුණාට මෙහෙම වෙන්න පුළුවන්ද?

 2019 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 201

‘‘නටන්න බැරි මිනිහට පොළව ඇදයි” යැයි කියමනක් ශ‍්‍රී ලංකා ජනවහරයේ තිබේ. නොහැකියාව වසා ගැනීමට වෙනත් හේතුවක් පෙන්වීම මෙම කියමනේ අර්ථය වෙයි. මේ කියමන එංගලන්තයේ දැන් පැවැත්වෙන ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ‍්‍රී ලංකා කණ්ඩායමට සහ එහි කළමනාකරු අසන්ත මෙල් මහතාට වඩාත් ගැලපෙයි. 

ලෝක කුසලාන තරගාවලියේදී ශ‍්‍රී ලංකා තරග සඳහා ලැබුණු තණතීරු සෙසු කණ්ඩායම්වලට ලැබුණු ඒවාට වඩා වෙනස් බවත් ශ‍්‍රී ලංකාවට ලැබුණු ප‍්‍රවාහන සහ හෝටල් පහසුකම් ද වෙනත් රටවල්වලට වඩා ප‍්‍රමිතියෙන් තොර බවත් ශ‍්‍රී ලංකා පිලේ කළමනාකරු සහ ජාතික ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති අසන්ත ද මෙල් මහතා විසින් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවට පැමිණිලි කර තිබුණි.

 ඕස්ට්‍රේලියාවට එරෙහිව ලන්ඩන්හිදී පැවැති තරගයෙන් පසුව මාධ්‍ය හමුව ශ‍්‍රී ලංකා පිල වර්ජනය කිරීමේ වගකීම ද කළමනාකරු ලෙස අසන්ත මහතා බාර ගතයුතුය. මාධ්‍ය හමුවට ක‍්‍රීඩකයකු හෝ නිලධාරියකු සහභාගි කිරීම කළමනාකරුගේ වගකීම වන අතර එසේ නොවේ නම් කළමනාකරු සහභාගි විය යුතුය.

ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස අසන්ත ද මෙල් මහතාගේ පූර්ණ මැදිහත්වීමෙන් තෝරාගත් මෙම කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේදී ප‍්‍රදර්ශනය කරමින් සිටින අසාර්ථකත්වය වසා ගැනීමට තණතීරැ සහ හෝටල් ඉදිරියට ගෙන ඇති බව නම් පැහැදිලිය. 

“අපේ තරගවලට කාඩිෆ්හිදී ලබා දුන් තණතීරු සහ සෙසු තරගවලට ලබාදුන් තණතීරු අතර ලොකු වෙනසක් තියෙනවා. අපිට තණකොළ තියෙන තණතීරු දෙනවා. බංග්ලාදේශය ලකුණු 330 ක් ගැහුවා, පාකිස්තානය 348 ක් ගැහුවා. ඒ තණතීරු සහ කාඩිෆ් තණතීරු අතර ලොකු වෙනසක් තියෙනවා. ඕස්ට්‍රේලියාවට එරෙහිව තරගයට දුන්න තණතීරුවත් කොළ පාටයි”

තේරීම් කමිටු සභාපතිවරයා ලෙස අසන්ත මහතා කළ යුත්තේ තණතීරුව කොළ පාට ද, දුඹුරු පාට ද, යන්න ගැන සෙවීම නොව තරග ජය ලැබිය හැකි කණ්ඩායමක් තරගවලට නම් කිරීමය.

කොළ පාට යැයි හැඳින්වූ ලන්ඩන්  ඕවල් තණතීරුවේ දිමුත් සහ කුසල් පෙරේරා අනගි පිතිහරඹයක නිරත වෙමින් පන්දු 93 කින් ලකුණු 115 ක වේගවත් සම්බන්ධතාවක් පැවැත්වුව ද සෙසු පිතිකරැවන් අසාර්ථක වීමෙන් පරාජය දෝතින් වැළඳ ගැනීමට සිදුවිය. 

අසන්ත ද මෙල් ඇතුළු තේරීම් කමිටුවට කළකම් පළදෙන්නාක් මෙන් අවමානයෙන් ගැලවීට මගක් සෙවීමට මේ වනවිට සිදුව තිබේ. 

දිනේෂ් චන්දිමාල්, උපුල් තරංග සහ අකිල ධනංජය වැනි අත්දැකීම් ඇති ක‍්‍රීඩකයන් අතිරේක සිවුදෙනාට හෝ ඇතුළත් නොකළ අසන්ත ද මෙල් මහතා කණ්ඩායම නිවේදනය කළ මාධ්‍ය හමුවේදී පැවසුවේ චන්දිමාල්ට සංචිතයේ ස්ථානයක් නොමැති බවයි. එසේ වුවද ළහිරු තිරිමාන්නට වර්තමාන තේරීම් කමිටුව පත්වූ දිනයේ සිට සංචිතයේ ස්ථානය වෙන්විය.

දැඩි වෙහෙසකර උත්සාහකින් පසුව සිය පන්දු යැවීමේ ඉරියව් සකස්කරගත් අකිල ධනංජය වසර පමණක කාලයක් තුළ කඩුලු 40 ක් පමණ දවාගෙන සිටියදී සංචිතයෙන් ඉවත්කරමින් ධනංජය ද සිල්වා පිට දඟ පන්දු යවන්නා බවට පත් කළේය. ජීවන් මෙන්ඩිස්, මිලින්ද සිරිවර්ධන සහ ජෙෆ්රි වැන්ඩසේ වසර ගණනාවකට පසුව සංචිතයට රිංගවූහ.

පළාත් තරගාවලියක දස්කම් අනුව ලෝක කුසලාන තරගාවලියකට සංචිතයක් තේරීම අසාර්ථක බව දැන්වත් අවබෝධ කරගත යුතුය. ඇත්තම කථාව නම් ලෝක මට්ටමේ තරගයක් දීමට හැකියාව ඇති ක‍්‍රීඩකයන් මෙම සංචිතයේ සිටින්නේ කීපදෙනකු පමණක් වීමය. එම මට්ටමේ සෙසු ක‍්‍රීඩකයෝ ශ‍්‍රී ලංකාවේ නිවෙස්වලට වී තරග නරඹති.

“අපේ කණ්ඩායමට 35 කට යන්න පුළුවන් පොඩි බස් එකක් දීලා. වෙනත් රවල්වලට විශාල බස් දීලා තිබුණා. අපි බ්‍රිස්ටල්වල දවස් හයක් හිටියා. හෝටලය සහ ක‍්‍රීඩාංගණය අතර ලොකු දුරක් තිබුණා. ඒ වගේම එහි පිහිනුම් තටාකයක් නෑ. ලොන්ඩරි පහසුකම්වල ප‍්‍රශ්නත් තිබුණා”

තේරීම් කමිටුව කොළය වසා ගැසීම මෙම බස් ප‍්‍රශ්නයත් සමඟ කරළියට පැමිණියේය. ලෝක කුසලාන සංචිතයට නිවේදනය කළ මාධ්‍ය හමුවේදී පැවසුවේ අතිරේක ක‍්‍රීඩකයන් සිවුදෙනා එංගලන්තයට නොයන බවය. එසේ වුවද එම සිවුදෙනා ද ආරම්භයේම සංචිතය සමඟ එංගලන්තයට පිටත් වූහ.

ලෝක කුසලාන තරගාවලියට සහභාගි වී සිටින සෙසු රටවල්වල ද එසේ අතිරේක ක‍්‍රීඩකයන් කැටුව පැමිණ තිබේද යන්න දැනගන්නට නැත. කෙසේ වෙතත් එම ක‍්‍රීඩකයන් සිවුදෙනා නොසිටියේ නම් අසන්ත ද මෙල් මහතා පවසන පරිදි බස් රථයේ අසුන් හතක් පමණ හිස්ව තිබීමට අවස්ථාව තිබේ.

අසන්ත ද මෙල් මහතා දැන් කළ යුත්තේ ඉදිරි තරග හතරේදී හෝ සාර්ථකත්ව ළඟා කිරීමට කටයුතු කිරීම පමණකි.

 වරකාගොඩ ගමගේ

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00