2019 ජුනි 08 වන සෙනසුරාදා

ශ්‍රී ලංකා පිලේ අවසානයක් නැති අත්හදා බැලීම්

 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 238

ශ්‍රී ලංකා පිල පසුගිය අඟහරුවාදා කාඩිෆ්හිදී ඇෆ්ගනිස්තානය පරාජය කරමින් ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ කඩඉමක් පැනගැනීමට සමත් වූ අතර එය ආදර්ශයට ගෙන සාර්ථකව ඉදිරියට යෑම වගකීම බවට පත්ව තිබේ.
නුවන් ප‍්‍රදීප් සහ ලසිත් මාලිංග යන වේගපන්දු යවන්නන්ගේ පන්දු යැවීම සහ නායක දිමුත් කරුණාරත්නගේ පන්දු රැකීම නොවන්නට එම තරගයේ ප‍්‍රතිඵලය ද පරාජය වීමට ඉඩ තිබුණි. එහිදී ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ලකුණු 187ක් වැනි අඩු ලකුණු සංඛ්‍යාවක් ආරක්‍ෂා කිරීම කැපී පෙනුණි. ශ්‍රී ලංකා පිලේ දුර්වල පිතිහරඹය වඩාත් කනගාටුදායකය.

කුසල් ජනිත් අනගි පිතිහරඹයක නිරත වෙමින් ඇෆ්ගනිස්තානු පන්දු යවන්නන් උකහාගෙන සිටි කීර්තිය බිංදුවට බැස්සීමට සමත් විය. ශ්‍රී ලංකා ඉනිමේ 22 වැනි  ඕවරයේ සිවුවැනි පන්දුවේදී ළහිරු තිරිමාන්න දෙවැනි කඩුල්ල ලෙස දැවී යනවිට ලකුණු 144 ක් රැස්කරමින් ප‍්‍රබල තත්ත්වයක පසුවිය. ඒ වනවිට ඕවරයකට ලකුණු හයකට වැඩි වේගයක් සටහන් විය.

එම වේගය පැවැත්වීමට හැකිවූයේ නම් පහසුවෙන් ලකුණු 325 ඉක්මවා රැස්කළ හැකිව තිබුණි. එසේ නොවේ නම් වෘත්තිය ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් ලෙස සෙසු පිතිකරුවන් අවම වශයෙන්  ඕවරයකට ලකුණු පහක වේගයක් පැවැත්වූයේ නම් පහසුවෙන් ලකුණු 280 ඉක්මවා රැස්කිරීමේ අවස්ථාව තිබුණි. කුසල් මෙන්ඩිස් අංක හතර ස්ථානයේ පන්දුවට පහර දෙමින් ඉතාමත් දුර්වල පිතිකරණය නිරත වෙමින් 22 වැනි ඕවරයේම දැවී යෑමෙන් ඉනිම කඩා වැටීම ආරම්භ විය. කුසල් මෙන්ඩිස් (02), ඇන්ජලෝ මැතිව්ස් (0), ධනංජය ද සිල්වා (0) සහ තිසර පෙරේරා (02) නැවතත් අසාර්ථක වීමෙන් මුදුනේ සිටි ශ්‍රී ලංකාව පතුලටම ඇද වැටුණි.

ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම පිතිකරු වන ඇන්ජලෝ මැතිව්ස් ද පිට පිටම දෙවැනි වරටත් ලකුණු නොලබා දැවී යෑම දැඩි පාඩුවක් බවට පත්විය. වර්ෂාව ඇද හැළෙන විට ශ්‍රී ලංකා පිල ඕවර 33 කදී කඩුලු අටක් දැවී ලකුණු 182 ක් රුස්කර සිටියේය. ඉන්පසුව ඉනිමක් ඕවර 41 ක තරගයක් ලෙස පැවැති අතර ශ්‍රී ලංකා පිල ඕවර 36.5කදී ලකුණු 201 කට සීමා විය.

මසකට රුපියල් මිලියන ගණනින් වැටුප් ලබන ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මෙම පිතිකරුවන්ට ලබාදෙන උපදෙස් මොනවාදැයි යන්න ගැටලුවකි. තරගයේ අවස්ථාව අනුව පිතිකරුවකුට උපදෙස් දෙන්නේ නම් කුසල් මෙන්ඩිස් පහර දුන් පළමු පන්දුව ස්ලිප් ක‍්‍රීඩකයා අසළින් ඇදී යෑමෙන් පසුව දෙවැනි පන්දුවට ස්ලිප් ක‍්‍රීඩකයාගේ අතටම උඩ පන්දුවක් දෙන්නේ දැයි ප‍්‍රශ්නයක් මතුවේ. 

ශ්‍රී ලංකා පිල සහභාගි වූ පළමු තරගයේදී නවසීලන්තය හමුවේ කඩුලු 10 කින් පරාජයට පත්විය. ශ්‍රී ලංකාව සුපුරුදු පරිදි ලෝක කුසලාන තරගාවලිය තුළදී අත්හදාබැලීම් කරමින් සිටියි. නවසීලන්තයට එරෙහිව තරගයේදී දිමුත් සමඟ තිරිමාන්න ආරම්භක පිතිකරු ලෙස කටයුතු කළ අතර ඇෆ්ගනිස්තානයට එරෙහිව තරගයේදී කුසල් පෙරේරා ආරම්භක පිතිකරු ලෙස කටයුතු කළේය. තිරිමාන්න අංක තුනට තල්ලු වී සිටියේය.

ඇෆ්ගනිස්තානයට එරෙහිව තරගයේදී ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයට ඇතුළත් කළ අත්දැකීම් වැඩිම දඟපන්දු යවන්නා වන ජීවන් මෙන්ඩිස් එළියෙන් තබා වේගපන්දු යවන නුවන් ප‍්‍රදීප් කැඳවා තිබුණි. ඒ අනුව ශ්‍රී ලංකා පිලට වේගපන්දු යවන්නන් පස්දෙනෙක් ඇතුළත්ව සිටියහ. ධනංජය ද සිල්වා පමණක් දඟපන්දු යවන්නෙක් ලෙස කණ්ඩායමට ඇතුළත්ව සිටියේය.

නුවන් ප‍්‍රදීප් සාර්ථක වීමෙන් තේරීම් කමිටුව උද්දාමයට පත්වන්නේ නම් එය තාවකාලික සතුටක් බව මතකයේ තබාගත යුතුය. දඟපන්දු යවන්නකුගේ අඩුව ඊළඟ තරගයේ සිට පිරවිය යුතුව තිබේ. එංගලන්ත පිල මුයින් අලී තෙවැනි පන්දු යවන්නා ලෙස යොදා ගනිද්දී ශ්‍රී ලංකාව වේගපන්දු යවන්නන් පස්දෙනකුගෙන් තරගයට අවතීරණ වීම සුදුසුදැයි විමසිය යුතුය.

I යොහාන් භාසුර