2019 ජුනි 01 වන සෙනසුරාදා

ක්‍රීඩා පිටියේ රතු එළි දැල්වූ ලෝක කුසලාන (කස කාරයෝ)

 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 06:12 185

එංගලන්තයේදී පසුගිය බ‍්‍රහස්පතින්දා ආරම්භ වූ 12 වැනි ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පුහුණු තරග ලෙස බැලීමේදී මෙවර ද වඩාත් උණුසුම් තරගාවලියක අත්දැකීම් විදීමේ අවස්ථාව ලෝක ක‍්‍රිකට් ලෝලීන්නට ලැබෙන බවට ඉඟි පළවිය.

වර්ෂාව හේතුවෙන් පුහුණු තරග කීපයක් සම්පූර්ණ කිරීම නොහැකි වූ අතර එම තරග ද සම්පූර්ණයෙන් පැවැත්වූයේ නම් මෙවර ලෝක කුසලාන තරගාවලියේ ආරම්භය වඩාත් ගිනියම් වීමට ඉඩ තිබිණි.

ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලි ඉතිහාසය ගත්ත ද අනාවැකි ගල්පැලෙන බොරු බවට පත්වීම සාමාන්‍ය තත්ත්වයයි. ලෝක කුසලාන ක‍්‍රිකට් ඉතිහාසය තුළ එවැනි සිද්ධීන්වලට උදාහරණ ඕනෑ තරම් ආවර්ජනය කළ හැකිය. සනත් ජයසූරිය, අරවින්ද ද සිල්වා, මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර කණ්ඩායමේ සිටියදී 2003 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී නයිරෝබි නුවරදී ශ්‍රී ලංකාව ඉතිහාසයේ පළමු වරට කෙන්යාව හමුවේ පරාජයට පත්විය. එම ලෝක කුසලාන තරගාවලියේදී ප‍්‍රබල රටවල් රුසක් පසු පසට ඇද දමමින් කෙන්යාව අවසන් පූර්ව තරගයට ද සුදුසුකම් ලබාගත්තේය.

ලෝක එක්දින ශ්‍රේණිගත කිරීමේ අටවැනි ස්ථානයේ සිටින බටහිර ඉන්දීය කොදෙව් පිල දෙවැනි පුහුණු තරගයේදී නවසීලන්තයට එරෙහිව ලකුණු 421 ක් රැස්කරමින් වෙනසක් කිරීමේ හැකියාව ඇති බවට ඉඟි කළේය. කොදෙව් පිලේ පළමු පුහුණු තරගය දකුණු අප‍්‍රිකාවට එරෙහිව පැවැති අතර එම තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය.
කොදෙව් පිලට ලෝක විස්සයි 20 ලීග් ක‍්‍රිකට් පිටියේ ප‍්‍රබලයන් වන ක‍්‍රිස් ගේල් සහ ඇන්ද්‍රි රසල් වැනි ක‍්‍රීඩකයන් කීපදෙනෙක්ම ඇතුළත්ව සිටීම නිසා තරගයක් වෙනස් කිරීමට වැඩි කාලයක් ගත නොවේ. ගේල් සහ රසල්ගේ මෙම වසරේ අයි.පී.එල්. තරගාවලියේ මතකය තවම රැඳී තිබීම නිසා සෙසු කණ්ඩායම්වලට ඇති අවදානම තවත් වැඩිය.
ඇෆ්ගනිස්ථානු පිල බි‍්‍රස්ටල්හිදී පැවැති පුහුණු තරගයේදී පාකිස්තානු පිල පරාජය කිරීම බොහෝ දෙනකුගේ අවධානයට ලක්විය. ඇෆ්ගනිස්තානයේ ක‍්‍රිකට් ගුරුවරයා පාකිස්ථානයයි. ගුරුවරයා පරාජය කිරීමෙන් ඇෆ්ගනිස්ථානය වඩාත් අභිපේ‍්‍රරණයට පත්ව සිටිනවාට සැක නැත. දඟ පන්දු යවන රෂීඩ් ඛාන් අයි.පී.එල්. තරගාවලියේදී ද දස්කම් දැක්වීමට සමත්ව සිටි අතර රෂීඩ් සෙසු සියලුම කණ්ඩායම්වලට අභියෝගයක් බවට පත්ව තිබේ. මොහොමඩ් නබී වැනි ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් එක්දින ජාත්‍යන්තර තරග සියයකට වැඩි සංඛ්‍යාවකට සහභාගි වෙමින් ප‍්‍රබල ක‍්‍රීඩකයන් බවට පත්ව සිටීමෙන් කුමන මොහොතේ කුමන තරගයේදී හිස ඔසවයිදෝ කිවනොහැක.

ඇෆ්ගනිස්ථානු පිලේ ප‍්‍රධාන අවිය බවට පත්ව ඇත්තේ දඟ පන්දු යැවීමය. ඒ හේතුවෙන් සියලු කණ්ඩායම් ඔවුන්ගේ දඟ පන්දු යවන්නන් පිළිබ`දව දැඩි අවධානය යොමු කිරීම හොඳ ආරක්‍ෂක පියවරකි.

ප‍්‍රබල කණ්ඩායම් ලැයිස්තුවේ වැජඹෙන ඉන්දීය පිල පළමු පුහුණු තරගයේදී නවසීලන්තය හමුවේ ලකුණු 179 කට සීමා වුවද දෙවැනි තරගයේදී බංග්ලාදේශයට එරෙහිව ලකුණු 359ක් රැස් කරමින් හිස එසවීය. 

ඉන්දීය පිලේ වඩාත් භයානකම පිතිකරු වන මහේන්ද්‍ර සිං දෝනි පන්දු 78 කින් ලකුණු 113 ක් රැස්කිරීම සෙසු කණ්ඩායම්වලට රතු එළියකි. දෝනි එහිදී අයි.පී.එල්. තරගයක් ශරීරියට ආරෝපණය කරගනිමින් පන්දුවට පහර දුන් බව ප‍්‍රදර්ශනය විය. පුහුණු තරගය දෙස බැලීමේදී මෙවර ද පෙරළිකාරයක් වේ යැයි සිතිය හැකිය. එසේ වුවහොත් ක‍්‍රිකට් ලෝලීන් මාස එකහමාරක් ලෝක කුසලාන තරගාවලිය සමඟ තබා ගැනීම එතරම් අපහසු නොවනු ඇත.

භාසුර

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00