2019 මැයි 25 වන සෙනසුරාදා

ශ්‍රී ලංකා පිල ජයග්‍රහණයකින් සංචාරය අරඹයි

 2019 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 87

ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සූදානමින් සිටින ශ්‍රී ලංකා පිල පසුගිය සිකුරාදා පළමු පුහුණු තරගයට ක‍්‍රීඩා කිරීමට සූදානමින් සිටියේය. කණ්ඩායමේ සංයුතිය නිර්මාණය කරගැනීම සඳහා මෙම තරගය ශ්‍රී ලංකාවට වඩාත් ප‍්‍රයෝජනවත් වී තිබේ.

ශ්‍රී ලංකා පිල ලකුණු 35 කින් ස්කොට්ලන්තය දෙවැනි තරගයේදී පරාජය කරමින් නැවතත් ජයග‍්‍රාහි මානසිකත්වයට පැමිණියේය. මෙහිදී ශ්‍රී ලංකා පිල ලකුණු 322 ක් රැස්කිරීම කැපී පෙනුණි. එම තරගයේදී ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කළ අවිෂ්ක ප‍්‍රනාන්දු සහ නායක දිමුත් කරුණාරත්න සාර්ථක වීම ශ්‍රී ලංකාවට වඩාත් සුබදායි වේ.

එහිදී අවිෂ්ක සහ දිමුත් ලකුණු 123 ක සම්බන්ධතාවක් පැවැත්වූහ. අවිෂ්ක පන්දු 78 කදී හතරේ පහර පහක් සහ හයේ පහර තුනක් සමගින් ලකුණු 74 ක් රුස්කිරීමට සමත් විය. අවිෂ්ක මෙම ඉනිමේදී පන්දුවට දැනෙන්න පහරදීම ඉදිරියේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේදී ප‍්‍රබල කණ්ඩායම්වලට ඔහු පිළිබඳව අවධානයෙන් සිටින ලෙස කළ පණිවුඩයක් බඳුවිය.

වසර හතරකට පසුව එක්දින ජාත්‍යන්තර තරගයකට සහභාගි වූ නායක දිමුත් රැස්කළ ලකුණු 77 ද අමතක කළ නොහැක. දිමුත් ඉනිම ආරම්භයේදී මන්දගාමී වුවද ඉනිම අවසන් වනවිට වේගය වැඩිකරමින් ලකුණු රුස්කිරීමේ වේගය 87.50 කට පවත්වා ගැනීමට සමත් විය.

දිමුත් සිය පළමු පන්දු 50 යේදී ලකුණු 36 ක් පමණක් රැස්කළ ද ඉන්පසුව පහරදුන් පන්දු 38 ට ලකුණු 41 ක් රැස්කරමින් පන්දු 88 කින් ලකුණු 77ක් රැස්කළේය. දිමුත් එම පිතිහරඹයේ නිතර වෙද්දී අවිෂ්ක වේගයෙන් ලකුණු රුස්කරමින් සිටියේය.

ශ්‍රී ලංකාව තරග ජය ලැබීමට නම් ආරම්භක පිතිකරුවන්ගෙන් මෙවැනි විශාල සම්බන්ධතා ලැබීම අනිවාර්ය වී තිබේ. දිමුත් කණ්ඩායමට අවශ්‍ය කරන තාලයේ සම්බන්ධතාවක් ගොඩනැගෙන තුරු කඩුල්ල ආරක්‍ෂාකරගැනීම කැපී පෙනුණි. මෙවැනි සාර්ථක සම්බන්ධතා නිරන්තරයෙන් පවත්වමින් පළමු  ඕවර 20 අවසන් වන විට වැඩි කඩුලු සංඛ්‍යාවක් නොදී ක‍්‍රීඩා කළහොත් ලෝක කුසලාන තරගාවලියේදී වෙනසක් කළ හැකිය.

අංක තුන පිතිකරු කුසල් මෙන්ඩිස් පන්දු 56 කදී හතරේ පහර හතරක් සහ හයේ පහර තුනක් සමගින් ලකුණු 66 ක් රුස් කළේය. කුසල්ගේ වගකීම වියයුත්තේ අඛණ්ඩව ලකුණු අතර සිටීමය. ඉනිම ආරම්භයේදීම කඩුල්ලක් බිඳ වැටී අංක තුන පිතිකරුද අසාර්ථක වුවහොත් ඉනිම අවසානයට කඩුලු තබාගැනීමේ සැළැස්ම බිඳ වැටේ. මෙම තරගයේදී තිසර පෙරේරා අංක හතර ස්ථානයට යෙදවූයේ කුමන හේතුවක් මතද යන්න ප‍්‍රශ්නයකි. 34 වැනි ඕවරයේදී කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 204 ක් රැස්කර තිබියදී තිසර යෙදවීමේ අවශ්‍යතාවක් නොමැත. එහිදී තිසර පළමු පන්දුවේදීම දැවී ගිය අතර ඇන්ජලෝ මැතිව්ස් ලකුණකට දැවී ගියේය.

ආබාධය සුවවෙමින් සිටියදී ලෝක කුසලාන තරගාවලියට සහභාගි වී සිටින ජ්‍යෙෂ්ඨ ප‍්‍රවේගකාරී පිතිකරු කුසල් පෙරේරා මෙම තරගයෙන් විවේක ගෙන සිටියේය. ආබාධයකට ලක්ව සිටි වේගපන්දු යවන ක‍්‍රීඩක නුවන් ප‍්‍රදීප් කඩුලු හතරක් දවාගනිමින් නැවතත් කඩුලු අතරට පැමිණීමද මෙම තරගයේදී ලැබූ තවත් වාසියකි. 

ස්කොට්ලන්තයට එරෙහිව පළමු එක්දින තරගය වාර්ෂාව හේතුව අතහැර දැමීම ශ්‍රී ලංකා පිලට දැඩි පාඩුවක් බවට පත්වූ අතර එම තරගය පැවතුණේ නම් ශ්‍රී ලංකාවට සංයුතිය පිළිබඳ මීට වඩා හොඳ අවබෝධයක් ලබාගැනීමේ අවස්ථාව තිබුණි.    

I යොහාන්