2019 මැයි 25 වන සෙනසුරාදා

තහනම් උත්තේජක චෝදනාවෙන් මලල ක්‍රීඩකයෝ 2ක් අමාරුවේ

 2019 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 27

ආසියානු මලල ක‍්‍රීඩා තරගාවලිය සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායම තේරීම වෙනුවෙන් පැවැති තරගාවලියේදී ක‍්‍රීඩකයන් දෙදෙනකු තහනම් උත්තේජක ලබාගෙන ඇති බවට පරීක්‍ෂණයෙන් තහවුරු වී ඇති බව පසුගියදා වාර්තා විය. මීටර 800 ඉසව්ව නියෝජනය කරන සඳරුවන් වෙදගෙදර සහ මීටර 400 ඉසව්ව නියෝජනය කරන චතුරංග ජයසේකර යන දෙපළට මෙවර තහනම් උත්තේජක චෝදනා එල්ල වී තිබේ.

ක‍්‍රීඩකයන් තහනම් උත්තේජක ලබාගැනීම මුත‍්‍රා නියැදි පරීක්‍ෂාවෙන් තහවුරු වීම මලල ක‍්‍රීඩාවේදී සාමාන්‍ය තත්ත්වයකි. එසේ වුවද මෙම ක‍්‍රීඩකයන් දෙපළ පිළිබඳව විශේෂ අවධානයක් යොමු වී තිබේ. එයට හේතු වී ඇත්තේ මෙම ක‍්‍රීඩකයන් දෙපළ ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා පුහුණුකරුවන්ගේ සංගමයේ සහභාපති මෙන්ම ජාතික ක‍්‍රීඩා විද්‍යායතනයේ අධ්‍යක්‍ෂ සජිත් ජයලාල් මහතාගේ ගෝලයන් වීමය. 

මලල ක‍්‍රීඩකයන් තහනම් උත්තේජක ලැබූ බොහෝ අවස්ථාවලදී පුහුණුකරුවන් දෙසට ඇඟිල්ල දිගුවිය. මෙවර ඇඟිල්ල දිගුවන්නේ ශ්‍රී ලංකා ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ වඩාත් වගකිවයුතු තනතුරක් දරණ නිලධාරියකුටය. ජයලාල් මහතා බොහෝ දේශනවලදී තහනම් උත්තේජක සම්බන්ධයෙන් දැනුවත් කරන නිලධාරියෙකි. මෙම ක‍්‍රීඩකයන් දෙපළ ඒ මහතාගේ ගෝලයන් වීම තුළින් ඒ මහතා චෝදනාවට ලක්කිරීම හෝ වරදකරුවකු බවට පත්කිරීම හෝ පරීක්‍ෂණයකින් තොරව කළ නොහැක. 

එම ක‍්‍රීඩකයන් තහනම් උත්තේජක ලබාගත්තේද, එසේ නැත්නම් වෙනත් ක‍්‍රමයකින් උත්තේජක ශරීරගත වූයේද, යන්න පිළිබඳව පරීක්‍ෂණයක් පැවැත්වීම ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ වගකීමක් බවට පත්ව තිබේ. එම ක‍්‍රීඩකයන් පිළිබඳ ඉදිරි කටයුතු ලෝක තහනම් උත්තේජක නිවාරණ ආයතනයේ උපදෙස් අනුව කටයුතු කළ යුතු අතර එම ක‍්‍රීඩකයන් නිර්දෝෂි යැයි හැගෙන්නේ නම් දෙවැනි මුත‍්‍රා නියැදි පරීක්‍ෂාවට යොමුවිය හැකිය. 

වරකාගොඩ ගමගේ

 

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00