2019 මැයි 11 වන සෙනසුරාදා

කල්යන ක්‍රීඩා තරග

 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 69

මුස්ලිම් අන්තවාදීන් ක‍්‍රිස්තියානි දේවස්ථාන සහ සුපිරි හෝටල් ඉලක්ක කරමින් පසුගිය පාස්කු ඉරුදින බෝම්බ පුපුරුවා හැරීමත් සමඟ ශ්‍රී ලංකාවේ ක‍්‍රීඩාව පසුබෑමකට ලක්ව තිබේ. එම බෝම්බ පිපිරීමෙන් පසුව ශ්‍රී ලංකාව තුළ උද්ගත වූ තත්ත්වයත් සමඟ ප‍්‍රධාන ක‍්‍රීඩා තරගාවලි රැසක් අත්හිටුවීමට සංවිධාකයෝ පියවර ගත්හ. මෙම අත්හිටවූ ක‍්‍රීඩා තරගාවලි අතරට ජාත්‍යන්තර තරගාවලි කිහිපයක් සහ පාසල් තරගාවලි රැසක් ඇතුළත් වේ. ශ‍්‍රී ලංකා සහ පාකිස්තානු යොවුන් ක‍්‍රිකට් කණ්ඩායම් අතර තරගාවලිය සහ ‘ටීකප්’ ජාත්‍යන්තර පාපැදි සවාරිය මෙහිදී වඩාත් කැපී පෙනේ.

බෝම්බ පිපිරීම් හේතුවෙන් පාසල්, සිංහල අලුත් අවුරුදු නිවාඩුව දීර්ඝ වීමෙන් පාසල් තරගාවලි රැසක්ද දින නියමක් නොමැතිව කල්දැමීමට සිදුව තිබේ. යොවුන් ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නිර්මාණය කිරීමේ පෙරහුරු තරගාවලියක් ලෙස ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මෙම තරගාවලිය සංවිධානය කළේය. වර්තමාන තත්ත්වය අනුව පාකිස්තානු යොවුන් පිලේ ශ්‍රී ලංකා සංචාරය අතහැර දැමීමට සිදුවන තත්ත්වයක් උද්ගත වී තිබුණි. පාකිස්තානු යොවුන් ක‍්‍රිකට් පිලට ඉදිරි මාස කීපයේදී සැලසුම් කළ තරගාවලි කීපයක් තිබීම නිසා ශ්‍රී ලංකා තරගාවලිය අතහැර දැමීමට සිදුවනු ඇති බව ක‍්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. 

අන්තර්ජාතික පාපැදි සංගමයේ වාර්ෂික තරග ලැයිස්තුවටද ඇතුළත්ව තිබෙන දකුණු ආසියාවේ එකම පාපැදි තරගාවලිය වන ‘ටීකප්’ ජාත්‍යන්තර පාපැදි තරගාවලිය ආසන්නයටම පැමිණ කල්දැමීමට සිදුවිය. ‘ටීකප්’ පාපැදි තරගාවලිය මේ මස 10 වැනිදා සිට 12 වැනිදා දක්වා පාසිකුඩා සිට මීගමුව දක්වා පැවැත්වීමට නියමිතව තිබුණි. එම තරගාවලියට දේශීය සහ විදේශීය කණ්ඩායම් 17ක් සහභාගි වන බව ස්ථිර කර තිබූ බව වාර්තා වේ. 

පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස 20න් පහළ රග්බි තරගාවලියේ තරග 20 කට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට අත්හිටුවා තිබේ. එම තරග පවත්වන දිනයක් මේ දක්වා තීරණය කර නොමැත. 

පාසල් ක‍්‍රිකට් සංගමය මෙහෙයවන වයස 15 න් සහ 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලි පසුගිය 3 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබුණ ද මේ වන විට එම තරගාවලි ආරම්භය කල්දමා තිබේ. පාසල් ආරම්භ කළ ද මෙම තරග ආරම්භ කිරීමට කාලයක් ගතවනු ඇති බවට පාසල් ක‍්‍රීඩා සංගම් නිලධාරීහු පවසති. 

“තරග ආරම්භ කරන්න පෙර අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කළ යුතුයි. එහෙම නොවුණොත් ප‍්‍රශ්නයක් වෙන්න පුළුවන්” යැයි පාසල් ක‍්‍රීඩා සංගම් නිලධාරියෙක් ‘දේශය’ට පැවසීය.

යොහාන් භාසුර