2019 මැයි 11 වන සෙනසුරාදා

ශ්‍රී ලංකාව පහළටම වැටුණේ ඇයි?

 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 115

ශ්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව පසුගිය සතියේ ඉතිහාසයේ දැවැන්තම පසුබෑම ප‍්‍රදර්ශනය කරමින් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ එක්දින ශ්‍රේණිගත කිරීමේ නවවැනි ස්ථානය දක්වා පහතට තල්ලු විය. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේණිගත කිරීමේ නවවැනි ස්ථානයට පත්වූ පළමු අවස්ථාව මෙය වේ. 

ශ්‍රී ලංකාවට ඉහළින් බටහිර ඉන්දීය කොදෙව් සහ බංග්ලාදේශ යන කණ්ඩායම් සිටියි. ශ්‍රී ලංකාව ප‍්‍රසාද ලකුණු 76 ක් ලබා නවවැනි ස්ථානයේ රැඳී සිටියදී බටහිර ඉන්දීය කොදෙව් ප‍්‍රසාද ලකුණු 79 ක් ලබා අටවැනි ස්ථානයේද, බංග්ලාදේශය ප‍්‍රසාද ලකුණු 87ක් ලබා හත්වැනි ස්ථානයේ පසුවෙයි. බංග්ලාදේශය ශ්‍රී ලංකාවට වඩා ප‍්‍රසාද ලකුණු 11 ක් ඉදිරියෙන් සිටීම කැපී පෙනේ. ඇෆ්ගනිස්තානය ප‍්‍රසාද ලකුණු 64 ක් ලබා 10 වැනි ස්ථානයේ පසුවෙයි.

මෙම තත්ත්වයෙන් ශ්‍රී ලංකාව ගොඩගැනීමට ශ්‍රී ලංකාව සතුව සම්පත් සහ හැකියාව තිබුණද දේශපාලන අත පෙවීම්, ක‍්‍රිකට් පරිපාලනයේ සහ ක‍්‍රීඩකයන්ගේ දුර්වලතා හේතුවෙන් තවදුරටත් පරිහානියට පත්වන ලකුණු ප‍්‍රදර්ශනය කරයි. ශ්‍රී ලංකාවේ සම්පත්වලින් වෙනත් රටවල් උපරිම ප‍්‍රයෝජනය ගන්නා අවස්ථා අනන්තවත් තිබේ. ශ්‍රී ලංකා ක‍්‍රිකට් සම්පත් මෙරටට අගයක් නොමැති වුවද වෙනත් රටවල් එම සම්පත්වලින් උපරිම ප‍්‍රයෝජන ගන්නා අවස්ථා අප දැක තිබේ.
ඉන්දියාවේදී දැන් පැවැත්වෙන අයි.පී.එල්. තරගාවලියේ අවසන් මහ තරගයට සුපිරි පිතිකරු රෝහිත් ශර්මාගේ නායකත්වයෙන් යුත් මුම්බායි ඉන්දියන්ස් පිල පළමුවෙන්ම සුදුසුකම් ලබාගැනීමට පසුගිය අඟහරුවාදා සමත් විය. 
මෙවර අයි.පී.එල්. තරගාවලිය නියෝජනය කරන එකම ශ්‍රී ලාංකික ක‍්‍රිඩකයා වන ලසිත් මාලිංග, මුම්බායි පිලේ ප‍්‍රබලතම වේගපන්දු යවන්නෙකි. මුම්බායි පිලේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු නායකයකු වන මහේල ජයවර්ධන කටයුතු කිරීමද කැපී පෙනේ. මුම්බායි පිලේ මේ දක්වා ජයග‍්‍රහණය පිටුපස මහේල ජයවර්ධනගේ ක‍්‍රිකට් දැනුම ප‍්‍රධාන සාධකයක් බවට පත්ව තිබේ. මහේලගේ අත්දැකීම් ඉන්දීය ක‍්‍රිකට් ක‍්‍රීඩාවට මනාව මුසුකිරීමට ඉන්දීය ක‍්‍රිකට් බලධාරීහු සමත්ව සිටිති. 

මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර ඇතුළු ශ්‍රී ලංකාවෙන් බිහිවූ කීර්තිමත් හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් එකතුව ශ්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලනය වඩාත් නිවැරදි තැනකට ගෙන ඒමට සැලසුම් සකස් කර මේ වනවිට වසර දෙකකට අධික කාලයක් ගෙවී ගොස් අවසන්ය. එය එසේ වුවද එකදු ක‍්‍රීඩා ඇමැතිවරයකු හෝ එම අදහස් ක‍්‍රියාත්මක කිරීමට සමත් වූයේ නැත. එම තත්ත්වය මත මහේල සහ සංගක්කාර පවසා තිබුණේ තවදුරටත් නොකෙරෙන වෙදකම වෙනුවෙන් තමන්ගේ කාලය වැය නොකරන බවයි. ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් මහේල සහ සංගක්කාරගේ හඬට කන්දීමට බලධාරීන් කටයුතු කළහොත් එළඹෙන ලෝක කුසලාන තරගාවලියේදී හෝ ඉදිරිපෙළ කණ්ඩායමක් ලෙස ඉදිරිපත්වීමේ අවස්ථාව තිබේ.

I භාසුර

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00