2019 මැයි 04 වන සෙනසුරාදා

කුසල් ජනිත්... ලොකු බලාපොරොත්තුවක්!

 2019 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 257

ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ලංකා පිලේ ප‍්‍රබලතම පිතිකරුවකු සහ කඩුලු රකින්නා වන කුසල් ජනිත් පෙරේරා ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහභාගි වන පළමු තරගය වනවිට සම්පූර්ණ සුවය ලබනු ඇති බවට තේරීම් කමිටුව විශ්වාසය පළකර සිටියි. “නවසීලන්තයට එරෙහිව පළමු තරගය තියෙන්නේ ජූනි 01 වැනිදා. ඔහුට මාසයක පමණ කාලයක් තියෙනවා. ඒ වනවිට යථා තත්ත්වයට පත්වෙයි කියලා භෞත චිකිත්සකවරයන් කියලා තියෙනවා.”

“කුසල් තවම පුහුණුවීම් ආරම්භ කරලා නෑ. දිවීම මීට සති කිහිපයකට පෙර ආරම්භ කළා. ඔහු සියයට 70ක් පමණ සුව අතට පත්ව තිබෙනවා යැයි අපිට දැනගන්න ලැබී තිබෙනවා” යැයි තේරීම් කමිටු සාමාජිකයෙක් ‘දේශය’ට පැවසීය. 
කුසල් ජනිත් පෙරේරා යනු තරගයක් වෙනස් කළ හැකි පිතිකරුවෙකි. ඒ හේතුවෙන් ලෝක කුසලාන තරගාවලිය අවසන් වනතෙක් ඔහු ආරක්‍ෂා කරගැනීමට හැකිවුවහොත් එය විශාල ජයග‍්‍රහණයක් වනු ඇත. කුසල් වසර කිහිපයක සිට පාදයක මස්පිඬු ආබාධයකට ලක්ව සිටින අතර ආබාධය සුවවීමෙන් වරින්වර කණ්ඩායමට පැමිණියද අඛණ්ඩව ක‍්‍රීඩා කිරීමට නොහැකි විය.

කුසල් පසුගිය මාර්තු මස දකුණු අප‍්‍රිකාවේදී පැවැති එක්දින තරගාවලියේදී නැවතත් ආබාධයට ලක්ව ඉවත්වීමට සිදුවිය. ඉන්පසුව ඔහු ලෝක කුසලාන සංචිතයේ තේරීම් කරන අවස්ථාව වනවිට යම් තරමක සුවය ලබාසිටි බැවින් සංචිතයට ඇතුළත් කිරීමට පියවර ගත්තේය. සංචිතය නිවේදනය කළ මාධ්‍ය හමුවේදී ජාතික ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා පැවසුවේ කුසල් ජනිත් කඩුලු රකින්නා ලෙසද කටයුතු කරන බවත් ඔහු කඩුලු රකින්නා ලෙස කටයුතු කිරීමෙන් ආබාධවලට ලක්වීමේ ප‍්‍රවණතාව අඩුවන බවත්ය.

“කුසල් වැඩි කාලයක් පන්දු රකින්නේ හතරේ සීමාවේ. ඔහු එහිදී පන්දු රැකීමට වැඩි මහන්සියක් වෙනවා. ඒ හේතුවෙන් ආබාධයන්ට ලක්වෙන්නට තියෙන අවස්ථාව වැඩි බව අපට පෙනුණා” යැයි අසන්ත මහතා වැඩිදුරටත් පැවසීය.

ආබාධයට ලක්ව සිටි ඇන්ජලෝ මැතිව්ස් මේ වනවිට පුහුණුවීම් ආරම්භකර ඇති අතර මැතිව්ස් ද ශ්‍රී ලංකා පිලේ ප‍්‍රධානතම පිතිකරුවකු බවට පත්ව සිටියි. ලෝක කුසලාන තරගාවලිය අවසන් වනතෙක් ඔහුද ආරක්‍ෂා කරගැනීමට අභියෝගයක් බවට පත්ව තිබේ. මැතිව්ස් ද වසර කීපයක සිට පාදයේ ආබාධයකට ලක්ව සිටින අතර ඔහුද වරින් වර කණ්ඩායමට පැමිණ ආබාධයන්ට ලක්වන තත්ත්වයක් වසර දෙකක පමණ කාලයක් තුළ දැකගත හැකිවිය.

ශ්‍රී ලංකා පිල පසුගිය සඳුදා එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී විශේෂ පුහුණු වැඩමුළුවක් ආරම්භ කළ අතර එහිදී සංචිතයට විශේෂ උපදේශන මාලාවකට ද සහභාගි වීමේ අවස්ථාව හිමිවේ. ශ්‍රී ලංකා සංචිතය ලබන සඳුදා (6 වැනිදා) එංගලන්තය බලා පිටත්ව යෑමට නියමිතය. ඉන්පසුව ශ්‍රී ලංකා සංචිතය එංගලන්තයේදී දින හතක විශේෂ පුහුණු වැඩමුළුවකට සහභාගි වෙයි. ශ්‍රී ලංකා පිලේ ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ඇතුළු සෙසු පුහුණුකරුවෝ මඩුල්ල එම පුහුණු වැඩමුළුව මෙහෙයවති. 

ශ්‍රී ලංකා පිල එක්දින තරග දෙකකට සහභාගි වීම සඳහා ස්කොට්ලන්තයේ සංචාරය කිරීමට නියමිතය. එම තරග දෙකෙන් පසුව ශ්‍රී ලංකා පිල නැවත එංගලන්තයට පැමිණ දකුණු අප‍්‍රිකාවට සහ ඕස්ට්‍රේලියාවට එරෙහිව ලෝක කුසලාන තරගාවලියේ පුහුණු තරග දෙකකට සහභාගි වෙයි. මෙවර ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන කණ්ඩායම් දහයෙන් අත්දැකීම් අඩුම මෙන්ම වැඩිම ප‍්‍රශ්න ගොන්නක් කරපින්නාගෙන සිටින ශ්‍රී ලංකා කණ්ඩායම යැයි කිවහොත් එහි වරදක් නැත. එම ප‍්‍රශ්න අමතක කර ක‍්‍රීඩා කිරීම වෘත්තීය මට්ටමේ ක‍්‍රීඩකයන්ගේ වගකීම වනු ඇත.

 වරකාගොඩ ගමගේ