2019 මැයි 04 වන සෙනසුරාදා

සංගක්කාර රජ පුටුවකට

 2019 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 116

ලෝක ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ නීති රීති සම්පාදකයා මෙන්ම සම්ප‍්‍රදාය නිර්මාණය කරන්නා වන එංගලන්තයේ මාර්ලිබෝන් කි‍්‍රකට් සමාජයේ ඉතිහාසයේ නව පිටුවක් සනිටුවහන් කරමින් ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ලබන සැප්තැම්බර් මස සිට එම ක‍්‍රීඩා සමාජයේ සභාපති පුටුවේ අසුන් ගැනීමට නියමිතය.

ක්‍රිකට් ලොව රන් දෙවොල ලෙසින් සැලකෙන එසේත් නැත්නම් ලෝක ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ ‘සිහින’ ක‍්‍රීඩාංගණය වන ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ද හිමිකරුවා වන මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ වසර 232ක ඉතිහාසයේ බ්‍රිතාන්‍ය ජාතිකයකු නොවන පුද්ගලයකු සභාපති ධූරයට පත්වන පළමු අවස්ථාව ද මෙය වේ.

ලෝඩ්ස් කී‍්‍රඩාංගණයේ නාමපුවරුවේ නම සටහන් කරගැනීම ද  ඕනෑම ක‍්‍රිකට් ක‍්‍රීඩකයකුගේ සිහිනයකි. සංගක්කාර 2014 වසරේ ලෝඩ් පිටියේදී ශතක දෙකක් රුස් කරමින් එම අවස්ථාව දෙවරක් හිමිකර ගත්තේය.
පසුගිය බදාදා (01 වැනිදා) පැවැති මාර්ලිබෝන් කි‍්‍රකට් සමාජයේ වාර්ෂි  මහ සභා රැස්වීමේදී එහි වත්මන් සභාපති ඇන්තනි රෙෆර්ඩ් මහතා මීළඟ සභාපතිවරයා ලෙස කුමාර් සංගක්කාර මහතා යෝජනා කළේය.

සංගක්කාර අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියේ ක‍්‍රීඩකයකුව සිටි කාලයේ සිට මාර්ලිබෝන් කි‍්‍රකට් සමාජය සමඟ සම්බන්ධතා පැවැත්වූ අතර ඔහු 2011 වසරේ කොලින් කවුඩ්රි අනුස්මරණ දේශනය පවත්වමින් එම ක‍්‍රීඩා සමාජයේ ගෞරවය හිමිකර ගැනීමට සමත් විය. මාර්ලිබෝන් කි‍්‍රකට් සමාජය 2012 වසරේ සංගක්කාරට එම ක‍්‍රීඩා සමාජයේ යාවජීව සාමාජිකත්වය ද පිරිනැමීය.

සංගක්කාර 2012 වසරේ මාර්ලිබෝන් කි‍්‍රකට් සමාජය හරහා ලෝක ක්‍රිකට් කමිටුවට එක්ව ලෝකයේම අවදානම දිනාගත්තේය. 

“මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති ධූරය ලැබීම අති විශාල ගෞරවයක්. මම ඒ අවස්ථාව ලැබෙන තෙක් බලාගෙන ඉන්නවා. මම හිතන විදිහට නම් එම්.සී.සී. කියන්නේ ලෝකයේ තියෙන විශිෂ්ටතම කී‍්‍රඩා සමාජයයි’’ යැයි සංගක්කාර පවසා තිබුණි.

  භාසුර