2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා

විදූෂා ලංකාවේ නම බේරාගනී

 2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 156

දෝහා කටාර්හිදී පසුගිය බදාදා අවසන් වූ 23 වැනි ආසියානු මලල ක‍්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා තුන්පිම්ම ක‍්‍රීඩිකා විදූෂා ලක්‍ෂානි ලෝකඩ පදක්කමක් දිනාගනිමින් ශ‍්‍රී ලංකා කණ්ඩායම හිස්අතින් පැමිණීමට තිත ලැබීය. මෙම ජයග‍්‍රහණයෙන් පසුව විදූෂා පැවසුවේ තමන් සාර්ථක වේ යැයි කිසිවකු බලාපොරොත්තු නොවූ බවයි. 

“මෙම ජයග‍්‍රහණය ගැන මම ගොඩක් සතුටු වෙනවා. මට ගියවර ඉන්දියාවේදී සෙන්ටි මීටර දෙකකින් ලෝකඩ පදක්කම අහිමිවුණා. මෙවර කවුරුත් බලාපොරොත්තු වුණේ නෑ මම පදක්කමක් දිනයි කියලා. නමුත් මගේ පුහුණුකරු මට කිව්වා පදක්කමක් දිනන්න පුළුවන් කියලා. මට එය කරන්න පුළුවන් වුණා” යැයි විදූෂා වැඩිදුරටත් පැවසීය. 
විදූෂා, මීගමුව නිව්ස්ටඩ් බාලිකා විදුහලේ ආදි ශිෂ්‍යාවක් වන අතර ඇය කටාන ප‍්‍රදේශයේ පදිංචිකාරියකි. පසුගියදා කටාන ප‍්‍රදේශයේ දේවස්ථානක් තුළ සිදුවූ බෝම්බ පිපිරීමෙන් ඇයගේ හිතවතුන් කීපදෙනකුද ජීවිතක්‍ෂයට පත්වූ බවද වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ බොහෝ ක‍්‍රීඩාවලට මෙන්ම මලල ක‍්‍රීඩාවටද දීර්ඝකාලීන සැලැස්මක අවශ්‍යතාව පසුගියදා ප‍්‍රදර්ශනය කළේය. අද වනවිට වයස 10ක් 15ක් වන දස්කම් දක්වන කුඩා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගෙන් මෙය ආරම්භ කළ යුතුය. එසේ වුවහොත් ඉදිරි වසර පහක් හයක් ගතවන විට ප‍්‍රතිඵල නෙලාගත හැකිවනු ඇත. ශ්‍රී ලංකා නාමය ^90 දශකයේ රන් අකුරෙන් ලියවූ මලල ක‍්‍රීඩාව තවදුරටත් කඩාවැටී ඇති බව දෝහා කටාර්හිදී පසුගිය බදාදා අවසන් වූ 23 වැනි ආසියානු මලල ක‍්‍රීඩා උළෙලේදී ප‍්‍රදර්ශනය විය.

ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා බලධාරීන් ක‍්‍රීඩා උළෙලක් ආසන්න වනවිට සංචිතයක් තෝරා ගුවන් ප‍්‍රවේශපත් ලබාදී පිටත්කර හැරීම පමණක් අවම වශයෙන් ආසියානු මට්ටමේ හෝ පදක්කමකට යෑමට ප‍්‍රමාණවත් නොවන බව මෙහිදී පැහැදිලිය. මෙම ක‍්‍රීඩා උළෙලේ මීට පෙර මීටර 800 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනාගත් නිමාලි ලියනආරච්චි හත්වැනි ස්ථානයට පත්වීමත් රිදී පදක්කම දිනූ ගයන්තිකා අබේරත්න සිවුවැනි ස්ථානයට පත්වීමත් මෙහි වඩාත් කැපී පෙනෙන සිද්ධිය බවට පත්ව තිබේ. මෙම ක‍්‍රීඩිකාවන් දෙපළ මෙවර ද පදක්කම් දිනාගනු ඇතැයි ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය බලාපොරොත්තු තබා සිටියේය. නිමාලි සහ ගයන්තිකා අවසන් තරගයට හෝ නැවතත් පැමිණීම යම් තරමකින් හෝ පැසසිය හැකිය. 

කෙටි ධාවන ශූර හිමාෂ ඒෂාන් කෙරෙහිද ශ්‍රී ලංකාව මෙම තරගාවලියේදී පදක්කම් බලාපොරෙත්තුවක් තබා තිබුණද ඔහු අවසන් තරගයට පැමිණීමට හෝ අසමත් වීම වඩාත් කැපී පෙනුණි. හිමාෂ අවසන් පූර්ව තරගයේදී තත්පර 10.54 ක කාලයක් වාර්තා කරමින් පස්වැනි ස්ථානයට පත්වීමෙන් අවසන් තරගයට පැමිණීමට නොහැකි විය. මෙම තරගාවලියට තේරීම සඳහා කොළඹදී පැවැති පළමු තේරීම් තරගයේදී තත්පර 10.22 ක කාලයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා වාර්තාවක්ද පිහිටුවා සිටියදී මෙවැනි කඩා වැටීමට ලක්විය. 

හෙල්ල විසිකිරීමේ ක‍්‍රීඩක සුමේධ රණසිංහ තේරීම් තරගාවලියේදී කොළඹදී දැක්වූ දස්කම් දැක්වීමට කටාර්හිදී ප‍්‍රදර්ශනය කිරීමට අපොහොසත්වීම කැපී පෙනුණි. ක‍්‍රීඩා ඇමතිවරුන් පත්වීම් ලබන දිනයේ වඩාත් ආකර්ෂණීය ප‍්‍රකාශයක් වන ක‍්‍රීඩා උළෙලවලට සහභාගි වීමේදී පදක්කම් දිනාගැනීමට ඇති හැකියාව පිළිබඳව අවධානය යොමු කරන්නේ යැයි පැවසුවද ක‍්‍රීඩා සංගම් සහ ජාතික ඔලිම්පික් කමිටුව පැරණි සෙල්ලම කරමින් සිටියි. ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඉල්ලා සිටින පහසුකම් සහ පෞද්ගලික පුහුණුකරුවන්ගේ සේවය ලබාදීම පමණක් ප‍්‍රමාණවත් නොවන බව මෙහිදී ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා බලධාරීන් අවබෝධ කරගත යුතුය. 

I යොහාන් භාසුර