2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා

මාලිංග කුමක් කරයිද?

 2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 215

“නායකයා හැටියට ඔහු ඉදිරියෙන් යනවා. නමුත් ඉතිරි දසදෙනා පස්සෙන් එන්නේ නෑ” යැයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා ලසිත් මාලිංග නායකත්වය ඉවත් කිරීමට ප‍්‍රධාන හේතුව එසේ පැහැදිලි කළේය. ලසිත් මාලිංගට කණ්ඩායමේ සෙසු ක‍්‍රීඩකයන් සහාය නොදැක්වීම හේතුවෙන් නායකත්වයෙන් ඉවත් කළ බව එම කියමනෙන් පැහැදිලිය. 

නායකත්වයෙන් ඉවත් කිරීමට එකට එක කිරීමක් ලෙස මාලිංග අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියෙන් ඉවත්වීමේ සූදානමක් පැවතුණද මෙම සටහන තබන මොහොත දක්වා ඔහු ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට එවැන්නක් නිල වශයෙන් දැනුම් දී නොතිබුණි. 
“ඔහු බෑ කිව්වොත් අපිට කරන්න දෙයක් නෑ. මාලිංග තුවාල වුණොත් අපි වෙන කෙනෙක් ආදේශ කරන්න එපැයි. අපි නැති වුණත් මේවට එන්න ඕනතරම් අය ඉන්නවා. මේවා විසුරැවා හරින්නේ නෑනේ” යැයි ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පසුගිය බ‍්‍රහස්පතින්දා මාලිංගට ප‍්‍රතිචාර දැක්වීය. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිලේ නායකයා පත්කිරීමේදී ඉහත කියමන පිළිබඳව දැඩි අවධානයක් යොමු කළාට සැක නැත. ලෝක කුසලාන සංචිතය පසුගිය බ‍්‍රහස්පතින්දා පෙරවරුවේ නම් කළ අතර දිමුත් කරුණාරත්න බදාදා පස්වරුවේ නායකත්වයට පත්කළ බව නිල වශයෙන් නිවේදනය කළේය. දිමුත්ට නායකත්වය පැවරීමට පෙර ඉන්දියාවේ සිටින ලසිත් මාලිංග නායකත්වයෙන් ඉවත් කරන බව තේරීම් කමිටුව ඔහුට දුරකථනය ඔස්සේ දැනුම්දී කරුණු පැහැදිලි කර තිබුණි. තේරීම් කමිටුව එහිදී මාලිංගගේ නායකත්වයෙන් පිට පිටම තරග 12 ක් පරාජය වීම සහ කණ්ඩායමේ සෙසු ක‍්‍රීඩකයන්ගෙන් බහුතරයක අකමැත්ත යන කරැණු පිළිබඳව ඔහු දැනුවත් කර තිබේ.

“මාලිංග අපි ඔයාට කණ්ඩායමේ ස්ථිර තැනක් නැතුවත් නායකත්වය දුන්නා. නමුත් පර්ෆෝම් කරන්න බැරි වුණා” යැයි පවසා තිබූ බවද ප්‍රකාශ විය.

මාලිංගට නායකත්වය ලැබුණේ නම් 2014 වසරේ බංග්ලාදේශයේ පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ශූරයන් වී මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර, කටුනායක ගුවන් තොටුපළේදී දැමූ සද්දෙට වඩා සද්දයක් දැකිය හැකිවනු ඇත. එහිදී මහේල සහ සංගක්කාර ලෝක කුසලානය ළඟ තබාගෙන ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලධාරීන්ගේ නම් ප‍්‍රකාශ කරමින් ඔවුන්ට එරෙහිව දැඩි විවේචනයක් එල්ල කළහ.

හිටපු නායක ලසිත් මාලිංග, අයි.පී.එල්. තරගාවලියට සහභාගි වෙමින් සිටියදී පාන්දර තුනට ශ්‍රී ලංකාවට පැමිණ පෙරවරු 9.45 ට පල්ලෙකැලේ පැවැති පළාත් තරගයට සහභාගි වීම බොහෝ දෙනකුගේ අවධානයට ලක්විය. ඔහු එදින ඉන්දියාවේදී මධ්‍යම රාත‍්‍රීය පසුවන තෙක් මුම්බායි ඉන්දියන්ස් පිල නියෝජනය කරමින් පැය 11 ක පමණ කාලයක් තුළ රටවල් දෙකේ තරග දෙකකට සහභාගි වීම කැපී පෙනුණි. මාලිංගගේ මෙම සහභාගිත්වය හුදෙක්ම දේශීය තරගාවලියට සහභාගි වීමේ උනන්දුවක් නොවන අතර නායකත්වය පත්වාගෙන යෑමේ උනන්දුවක් බව බොහෝම පැහැදිලිය. මීට පෙර අයි.පී.එල්. තරගාවලි අතරතුරදී මාලිංගට මෙවැනි උනන්දුවක් නොතිබුණි. පළාත් තරගාවලිය අවසන් වූ වහාම මාලිංග නැවතත් ඉන්දියාව බලා පිටත්ව ගියේය. මාලිංග පළාත් තරගාවලියේදී ගාල්ල පිලේ ‘හැට්’ තොප්පිය වෙනුවට මුම්බායි ඉන්දියන්ස් පිලේ ‘හැට්’ තොප්පියක් පැළඳ තරගවලට සහභාගි වීමද කැපී පෙනිණි.

ගාල්ල පිල පළාත් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමෙන් පසුව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සහ ශ්‍රී ලංකා ක‍්‍රීඩා ලෝලීන් විවේචනය කරමින් ඔහු සුපුරුදු පරිදි වැඩ ඇල්ලීය. 

“මෙවැනි තරගාවලියක් පවත්වන විට තරග අතර විවේකයක් තියෙන්න ඕනේ. නමුත් මෙම තරගාවලියේ අපි පල්ලෙකැලේ තරගයකට සහභාගි වෙලා ඊළඟ දවසෙ දඹුල්ලට ගිහිල්ලා අනිත් දවසෙ තවත් තරගයකට සහභාගි වෙන්න  ඕනේ. ක‍්‍රීඩකයකුගේ ඇඟිල්ලේ පන්දුව වැදුණයි කියමුකෝ. දවස් දෙකක් අයිස් තියන්න ඕනේ. එවැනි දෙයකටවත් වෙලාවක් නෑ” යැයි ලසිත් මාලිංග අන්තර් පළාත් තරගාවලියේ දෙවැනි තරගයෙන් ජය ලැබීමෙන් පසුව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විවේචනය කළේය. 

“ගොඩක් අය මට එක එක ඒවා කිව්වා. මට ශරීරය ශක්තිමත් නැතුව ඇති එහෙත් හිත හයියයි. දැන් මම වැඩ පෙන්නලා තියෙනවා.”

මාලිංගගේ නායකත්වයෙන් ලෝක කුසලාන තරගාවලියේ තරග දෙක තුනක් හෝ ජය ලැබුවහොත් සිදුවෙන්නේ කුමක්ද යන්න ඉහත ප‍්‍රකාශවලින් මනාව පැහැදිලි වේ. මේ හේතුවෙන් නායකයා පත්කිරීමේදී තේරීම් කමිටුව සහ ක‍්‍රිකට් බලධාරීහු වරක් දෙවරක් නොව දහස් වාරයක් සිතා බැලිය යුතුය. 

රුපියල් මිලියන 63 ක් හෙවත් ලක්‍ෂ 630 ක් වැය කර පැවැත්වූ අන්තර් පළාත් තරගාවලිය මේ වනවිට පුස්සක් බවට පත්ව තිබේ. එම තරගාවලියෙන් සොයාගත් නවක ක‍්‍රීඩකයකු නැති තරම්ය. අවිශ්ක ප‍්‍රනාන්දු සහ චාමික කරුණාරත්න යන යොවුන් ක‍්‍රීඩකයන් මෙහිදී දස්කම් දැක්වූ අතර ඇන්ජලෝ මැතිව්ස් සහ දුෂ්මන්ත චමීර වැනි ආබාධයන්ට ලක්ව සිටි ක‍්‍රීඩකයන්ට නැවතත් තරග අත්දැකීම් ලබාගැනීමට අවස්ථාවක් බවට පත්විය. මිලින්ද සිරිවර්ධන සහ ජීවන් මෙන්ඩිස් වැනි අත්දැකීම් ඇති ක‍්‍රීඩකයන් කීපදෙනකු සංචිතයට ඇතුළත් කිරීමට තේරීම් කමිටුව සූදානමින් සිටියේය. දිමුත් කරුණාරත්න සහ ළහිරු තිරිමාන්න ආරම්භක පිතිකරුවන් ලෙස සංචිතයට ඇතුළත්ව සිටිති. 

ශ‍්‍රී ලංකා ලෝක කුසලාන ක‍්‍රිකට් සංචිතය:

දිමුත් කරුණාරත්න (නායක), අවිශ්ක ප‍්‍රනාන්දු, ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, මිලින්ද සිරිවර්ධන, ධනංජය ද සිල්වා, ඉසුරු උදාන, තිසර පෙරේරා, නුවන් ප‍්‍රදීප්, ලසිත් මාලිංග, සුරංග ලක්මාල්, ජෙෆ්රි වැන්ඩසේ සහ ජීවන් මෙන්ඩිස්

අතිරේක ක‍්‍රීඩකයෝ: ඕෂධ ප‍්‍රනාන්දු, ඇන්ජලෝ පෙරේරා, කසුන් රාජිත සහ වනිඳු හසරංග

 I වරකාගොඩ ගමගේ