2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා

දැල්පන්දු පාලනයට අතුරු කමිටුවක්

 2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 161

ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ පරිපාලනයට ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා විසින් පසුගිය සතියේ අතුරු කමිටුවක් පත්කරන ලදී. හරීන් ප‍්‍රනාන්දු මහතා පත්වීමෙන් පසුව පත්කළ අටවැනි අතුරු කමිටුව මෙය බව ක‍්‍රීඩා අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. දැල්පන්දු අතුරු කමිටුවේ සභාපතිනිය ලෙස විදේශ රැකියා නියුක්ති කාර්යංශයේ නිලධාරිනියක් වන යමුනා පෙරේරා මහත්මිය පත්කර තිබේ. එහි සෙසු සාමාජිකයන් ලෙස ආශා එදිරිසිංහ මහත්මිය සහ රංජිත් විමලසූරිය මහතා පත්වූහ. 

මෙහි කැපී පෙනෙන තත්ත්වය බවට පත්ව ඇත්තේ අතුරු කමිටුවට පත්කර සිටින නිලධාරීන්ට දැල්පන්දු ක‍්‍රීඩාව හෝ එහි පරිපාලනය පිළිබඳව දැනුමක් තිබේද යන්නයි. එවැනි කමිටුවක් වැඩි කාලයක් දැල්පන්දු ක‍්‍රීඩාව පාලනය කළහොත් ක‍්‍රීඩාවට දෙවියන්ගේම පිහිට යැයි බොහෝ දෙනා පවසති. 

මීට පෙර ක‍්‍රීඩා ඇමතිවරුන් අතුරු කමිටු පත්කරන විට එම ක‍්‍රීඩාවේ පරිපාලනයේ සිටි එසේ නැත්නම් එම ක‍්‍රීඩාවේ පරිපාලනය පිළිබඳ හොඳ දැනුමක් ඇති පුද්ගලයෝ පත්කරනු ලැබූහ. වර්තමාන ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ සංකල්පය වී ඇත්තේ ක‍්‍රීඩාවට සම්බන්ධ නැති පුද්ගලයන් පත්කිරීමයි. ක‍්‍රීඩා අමාත්‍යංශය පවසන්නේ අතුරු කමිටුවක් පත්කිරීමේ මූලික අරමුණ සාධාරණ නිලවරණයක් හැකි ඉක්මනින් පැවැත්වීම බවයි. 

ශ්‍රී ලංකාවේ නමගිය දැල්පන්දු නිලධාරිනියක් මෙම අතුරු කමිටුවට එරෙහිව අධිකරණයට යෑමේ සූදානමක්ද පවතින බව දැල්පන්දු ක්ෂේත‍්‍රයේ කථාබහට ලක්ව තිබේ. මෙම සටහන තබන මොහොත වනවිටත් හිටපු නිලධාරීන් පවසන්නේ අතුරු කමිටුවක් පිළිබඳව තමන් නොදන්නා බවයි.  

ශ්‍රී ලංකා දැල්පන්දු පරිපාලනය කවදත් අර්බුදවලින් පිරි තැනක් බව ඉතිහාසය සාක්‍ෂි දරයි. මෙවරද දැල්පන්දු ක‍්‍රීඩාව අතුරු කමිටුවක් පත්කරන තත්ත්වයට ඇද වැටීම පිටුපස ඇත්තේද බල අරගලය සහ විදේශ සංචාර මේනියාවයි. එංගලන්තයේදී ලබන ජූලි මස පැවැත්වෙන ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේදී කණ්ඩායම් නිලධාරීන් ලෙස සහභාගි වීම මෙම අර්බුදයේ එක පැත්තකි. එම අවස්ථාව ලබාගැනීමට නම් බලයේ රැඳී සිටිය යුතුය. 

I යොහාන් භාසුර