2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා

කැප්ටන් දිමුත්?

 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 304

ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා එක්දින පිලේ නායකත්වයට ටෙස්ට් පිලේ නායක දිමුත් කරුණාරත්න පත්වීමට වැඩි ඉඩක් ඇති බවට ක‍්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. රිය අනතුරක් හේතුවෙන් දිමුත් පසුගිය සතියේ දැඩි අවධානයට යොමු වී සිටි අතර ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මගින් ඔහුට ටෙස්ට් තරගයක තරග මුදල වන ඩොලර් 7500ක දඩයක් පැනවීමට පසුගිය අඟහරුවාදා පියවර ගනු ලැබීය.

ඇන්ජලෝ මැතිව්ස් නැවතත් නායකත්වය බාරගැනීම දිගින් දිගටම ප‍්‍රතික්ෂේප කරන තත්ත්වයක් තුළ දිමුත්ට එම අවස්ථාව ලැබීමට නියමිතය. “රට වෙනුවෙන් කියලා මම එක පාරක් බාරගත්තා. මොකද වුණේ. ඊට පස්සේ මගේ පිටේ තියලම කැපුවේ” යැයි මැතිව්ස් නායකත්වය පිළිබඳව ඔහුගෙන් විමසන සමීපතයන්ට පවසා ඇතැයි දැනගන්නට තිබේ.

දිමුත්, එංගලන්ත ප‍්‍රාන්ත ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් අවසර ඉල්ලා තිබුණද ඔහුගේ සේවය එක්දින පිලට අවශ්‍ය වීම නිසා පළාත් තරගාවලිය සඳහා ඔහුව ශ්‍රී ලංකාවේ රඳවා ගැනීමට ක‍්‍රිකට් ආයතනය පියවර ගෙන තිබුණි.

“මම මෑතකදී එක්දින පිල නියෝජනය නොකළත් දේශීය එක්දින තරගවලට අඛණ්ඩව සහභාගි වී තිබෙනවා. අන්තර් සමාජය සහ වෙළෙඳ සේවා තරගවලට මම ක‍්‍රීඩා කළා. එම තරගවලදී මම දස්කම් අතර ඉන්නවා. දකුණු අප‍්‍රිකානු ටෙස්ට් තරගාවලියෙන් පසුව නැවත පැමිණ එක්දින තරග තුනකට සහභාගි වුණා. ඒ නිසා එක්දින කණ්ඩායමට එන්න මම සූදානමින් ඉන්නේ” යැයි දිමුත් කරුණාරත්න පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා මාධ්‍ය හමුවකදී පැවසුවේ දිමුත් ලෝක කුසලාන සංචිතයේ සිටිනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි. 

එක්දින පිලේ වර්තමාන නායක ලසිත් මාලිංග පළාත් තරගාවලියට සහභාගි වීමට නැවත ශ්‍රී ලංකාවට එන බවට අන්තර්ජාලයට විඩියෝ පටයක් මුදාහැර තිබුණු අතර ඔහු 04 වැනිදා අලුයම පැමිණ, 04 වැනිදා තරගයට සහභාගිවී කඩුලු 07ක්ද දවාගැනීමට සමත්විය. මොහාන් ද සිල්වා මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ පළාත් තරගාවලියට සහභාගිවීම සඳහා මාලිංග පැමිණෙන බවක් නිල වශයෙන් දැනුම් දී නොමැති බවයි. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ඉන්දියාව සමඟ හොඳ හිත පවත්වාගෙන යෑමට මාලිංගට අයි.පී.එල්. තරගාවලියට සහභාගි වීමට අවසර දුන්නද ඔහු සම්බන්ධයෙන් එතරම් හොඳ තක්සේරැවක නොමැති බව දැනගන්නට තිබේ. මෙම තත්ත්වය තුළ මාලිංගගේ ලෝක කුසලාන තරගාවලියක නායකත්වය දැරීමේ සිහිනය බොඳවීමට බොහෝදුරට ඉඩ තිබේ.

 වරකාගොඩ ගමගේ