2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා

ලෝක කුසලාන තරග අභියස දැල්පන්දු සංගමය පඹගාලක

 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 04:56 105

ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ පරිපාලනයට අතුරු කමිටුවක් පත්කිරීමට බොහෝදුරට ඉඩ ඇති බවට ක‍්‍රීඩා අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. එම සංගමයේ නිලවරණය නොපැවැත්වීම පිළිබඳව මේ වනවිට ක‍්‍රීඩා අමාත්‍යංශය කටයුතු කරමින් සිටියි. දැල්පන්දු නිලවරණය පැවැත්වීමට මේ වනවිට නිලවරණ කමිටුක්ද පත්කර තිබුණද නාමයෝජනා කැඳවීම ඇතුළු නිලවරණය පැවැත්වීම පිළිබඳව මේ දක්වා කිසිදු දින නියමයක් නොමැත.

ශ්‍රී ලංකා දැල්පන්දු පරිපාලනයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරිනියකගේ එංගලන්ත සංචාරයක බලාපොරොත්තුවක් මෙම ව්‍යාකූල තත්ත්වයට ප‍්‍රධාන හේතුව බවට පත්ව ඇති බව තතු දන්නෝ පවසති. අදාළ නිලධාරිනියගේ ප‍්‍රමුඛත්වයෙන් සැළසුම්සහගතව දැල්පන්දු සංගමයේ නිලවරණය නොපැවැත්වීම හේතුවෙන් මෙම ව්‍යාකූල තත්ත්වය නිර්මාණය වී ඇති බව වාර්තා වේ. එම නිලධාරිනිය දැල්පන්දු සංගමයේ ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් ක‍්‍රීඩා රෙගුලාසිවල නිලධාරී මණ්ඩලයට වසර හතරක් කටයුතු කළ හැකි යන නව වගන්තිය පාවිච්චි කරමින් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.  මෙම වසරේ ජූනි සහ ජූලි මාසවලදී ශ්‍රී ලංකා දැල්පන්දු පිල එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියට සහ යොවුන් දැල්පන්දු පිල ජපානයේ පැවැත්වෙන යොවුන් ආසියානු දැල්පන්දු තරගාවලියට සහභාගි වීමට නියමිතය. ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරිණිය ලෙස එංගලන්තයේ සංචාරය කිරීමට අදාළ නිලධාරිනිය සූදානම්වීම මෙම බලයේ රැඳී සිටීමේ අරමුණ වී තිබේ. 

දැල්පන්දු සංගමයේ මහ සභා රැස්වීමක් පසුගියදා පැවැතිද එහිදී සාමාජිකයන්ගේ විරෝධය හේතුවෙන් රැස්වීම අතරමග අත්හැර දැමීමට සිදුවූ බව වාර්තා වේ. එම රැස්වීමට සහභාගි වූ සාමාජිකාවන් අදාළ නිලධාරිනියට ඝෝෂාකාරී ලෙස විරෝධය දැක්වීමෙන් රැස්වීම අතහැර දැමීමට සිදුවිය. එහිදී හිටපු ශ්‍රී ලංකා දැල්පන්දු නායිකාවක් මෙන්ම වර්තමානයේ උසස් තනතුරක් දරණ නිලධාරිනියක් විරෝධය දරාගැනීමට නොහැකිව හඬාවැටුණු බවද වාර්තා විය. 

දැල්පන්දු ව්‍යවස්ථාවට අනුව වයස 70 ඉක්මවූ පුද්ගලයකුට තනතුරකට ඉදිරිපත්විය නොහැකි අතර අදාළ නිලධාරිනිය එම වගන්තිය ඉවත්කර ගැනීමට මේ වනවිට උත්සාහ කරමින් සිටින බව වාර්තා වේ. එම වගන්තිය ඇය විසින්ම ව්‍යවස්ථාවට ඇතුළත් කරන ලද එකක් බවද දැනගන්නට තිබේ. එම වගන්තිය ඉවත්කිරීමට දැල්පන්දු සංගමයේ සාමාජිකයන්ගේ බහුතරයක් මේ වනවිට අකමැත්ත පළකර ඇති බව වාර්තා වේ. 

දැල්පන්දු ක‍්‍රීඩාව මෙරට ලෝක මට්ටමේ තිබෙන ක‍්‍රීඩා කිහිපය අතරින් එකකි. එම ක‍්‍රීඩාව ඇතැමුන්ගේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් වළපල්ලට යන තෙක් ක‍්‍රීඩා බලධාරීන් ඇස්, කන් පියාගෙන සිටියහොත් එය ජාතික අපරාධයකි. 

 යොහාන් භාසුර

 

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00