2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා

ක්‍රීඩකයන්ට ලක්ෂ 17 ක් පමණයි : ලක්ෂ 630න් වැඩි කොටසක් මකර කටේ

 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 194

“මෙම තරගාවලිය සඳහා මිලියන 63ක් වෙන්කරලා සියලුම පහසුකම් දෙනවා. අපි විශ්වාස කරනවා ලෝක කුසලාන තරගාවලියට සූදානම් වීමට මෙම තරගාවලිය හොඳ අවස්ථාවක් වෙයි කියලා” යැයි අන්තර් පළාත් ක‍්‍රිකට් තරගාවලිය සඳහා වෙන්කළ දැවැන්ත මුදල සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා පැවසීය.

දින අටක තරගාවලියකට රුපියල් මිලියන 63ක්, එසේ නැත්නම් කෝටි 6.3ක්, ඇඟට දැනෙන ආකාරයට නම් රුපියල් ලක්‍ෂ 630ක් වියදම් කිරීම කොතරම් ප‍්‍රයෝජනවත්ද යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතුය. මෙහි කැපී පෙනෙන තත්ත්වය බවට පත්වන්නේ මෙවැනි දැවැන්ත මුදල් වැයකරන තරගාවලියේ ශූරයන්ට රුපියල් ලක්‍ෂ 10ක් පමණක් ප‍්‍රදානය කිරීමය. අනුශූරයන්ට රුපියල් රුපියල් 750,000 කි.

ශූරයන්ට ලැබෙන ත්‍යාග මුදල තරගාවලියේ සම්පූර්ණ වියදමින් සියයට 2 කටත් අඩු ප‍්‍රමාණයකි. තෙවැනි ස්ථානය තෝරන තරගයක් පැවැත්වුවද තෙවැනි ස්ථානයට ත්‍යාග මුදලක් නොමැත. මෙම ත්‍යාග මුදල් ප‍්‍රදානයත් සමඟ ‘සුපිරි’ පළාත් තරගාවලිය ‘පදිරි’ පළාත් තරගාවලියක් බවට පත්ව තිබේ.  

ලෝක කුසලාන තරගාවලියට සංචිතය තෝරාගැනීමට යැයි පවසමින් සංවිධානය කරන මෙම තරගාවලිය පසුගිය බ‍්‍රහස්පතින්දා ආරම්භ වූ අතර ලබන බ‍්‍රහස්පතින්දා (11 වැනිදා) අවසන් වේ. ඒ අනුව මෙම තරගාවලිය දින අටක් දඹුල්ල සහ පල්ලෙකැලේ යන ක‍්‍රීඩාංගණවලදී පැවැත්වේ. දඹුල්ල සහ පල්ලෙකැලේ යන ක‍්‍රීඩාංගණවල දිනකට තරගය බැගින් පළමු වටයේ තරග මේ මස 4, 6 සහ 8 යන දිනවලදී පැවැත්වෙන අතර 10 වැනිදා තෙවැනි ස්ථානය සඳහා තරගයද, 11 වැනිදා අවසන් මහ තරගයද දඹුල්ලේදී පැවැත්වීමට නියමිතය.

ලෝක කුසලාන තරගාවලියකට සංචිතය තේරීමට වෙනත් කිසිදු රටක් මෙවැනි දැවැන්ත මුදලක් වියදම් කරනවා යැයි දැනගන්නට නම් නැත. ක‍්‍රීඩකයන්ට සහ නිලධාරීන්ට නවාතැන් පහසුකම් සඳහා හෝටල් කාමර වෙන්කිරීම සඳහා දැවැන්ත මුදලක් වෙන්කර ඇති බව ක‍්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම තරගාවලිය කොළඹ පැවැත්වූයේ නම් හෝටල් කාමර වෙන්කිරීමේ අවශ්‍යතාවක් නොමැත. මේ ආකාරයට කණ්ඩායම් තෝරා තේරීම් තරගාවලියක් ලෙස පැවැත්වුයේ නම් මෙම ලක්‍ෂ 630න් සියයට 10 කින් 15 කින් ලෝක කුසලාන සංචිතය තෝරාගැනීමේ අවස්ථාව තිබුණි. එසේ වූයේ නම් හෝටල් කාමර වෙන්කරන ‘කාක්කන්ට’ කොමිස් මුදල් අහිමි වේ.

මෙම තරගාවලියේ සියලු තරග සජීවී රූපවාහිනී සහ ගුවන්විදුලි ප‍්‍රචාරයක්ද ක‍්‍රියාත්මක කරන බව වාර්තා වේ. ඒ අනුව මෙම තරගාවලියේදී දඹුල්ලේදී පැවැත්වෙන තරග පහ සජීවීව විකාශය කරන අතර පල්ලෙකැලේ පැවැත්වෙන තරග තුන සජීවීව ගුවන් විදුලි ප‍්‍රචාරයක් ක‍්‍රියාත්මක වේ. මෙම සජීවි විකාශ පිළිබඳව අවධානය යොමු කිරීමේදී මෙම ලක්‍ෂ 630න් ලක්‍ෂ 100කට අධික මුදලක් රූපවාහිනී සහ ගුවන් විදුලි විකාශයට වෙන්කර තිබෙනවාට සැක නැත.

මෙම සජීවි විකාශය හරහා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ වර්තමාන පාලකයන්ගේ හෙවනැල්ල මෙන් සිටින දූෂිත පුද්ගලයකුගේ සාක්කුවට වැඩි මුදල් වැටෙන බව ප‍්‍රසිද්ධ රහසකි. දූෂිත ක‍්‍රියා හේතුවෙන් රාජ්‍ය මාධ්‍ය ආයතනයකින් නෙරපූ මෙම පුද්ගලයා හරහා මීට පෙර පරිපාලනය තිබියදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සංචාරයක ගුවන් විදුලි විකාශයක් සඳහා රුපියල් කෝටියකට අධික මුදලක් ලබාගෙන තිබුණි. ඊට අමතරව විස්තර විචාරයට සහභාගි වූයේ යැයි පවසමින් විශාල මුදල්ද ලබාගෙන තිබූ බව වාර්තා විය. 

මෙවැනි දේවල්වලින් විනාශ වන්නේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් දහඩිය හලා රුගෙන එන මුදල්ය. ඒ හේතුවෙන් මෙම මුදල් පරිහරණ පිළිබඳව ක‍්‍රීඩා බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුය.     

♦ විශේෂ ලියුම්කරුවකු විසිනි

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00