2019 මාර්තු 30 වන සෙනසුරාදා

මැතිව්ස් නැත්නම් දිමුත්

 2019 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 350

මම ලොක්කා’ යන මානසිකත්වයෙන් හැසිරෙන පුද්ගලයන් අසාර්ථක වන අවස්ථා සමාජය තුළ අනන්තවත් දැක තිබේ. ශ්‍රී ලංකා එක්දින පිලේ නායක ලසිත් මාලිංගද එවැනි මානසිකත්වය පසුවන ක‍්‍රීඩකයකු බව ප‍්‍රසිද්ධ රහසකි. ක‍්‍රීඩකයන්, ක‍්‍රිකට් පරිපාලනය සහ ජනමාධ්‍ය සමඟ මාලිංග පසුගිය කාලයේ ගනුදෙනු කළ ආකාරය අනුව ඉහත අදහසට බොහෝ දෙනා එකඟ වනවාට සැක නැත.

මෙම හැසිරීම හේතුවෙන් මාලිංගට කණ්ඩායාමේ බොහෝ ක‍්‍රීඩකයන්ගේ සහයෝගය නොලැබෙන බවට අසන්නට ලැබෙන අතර එක්දින සහ විස්සයි කණ්ඩායම් අඛණ්ඩව ලබන ‘මාර’ පරාජයට හේතුවද ඇතැම් ක‍්‍රීඩකයන්ගේ සහයෝගය නොලැබීම බවද ඇතැම්හු පවසති. එක්දින සහ විස්සයි20 කණ්ඩායමේ සාමාජිකයකු වන තිසර පෙරේරා නායක මාලිංග නායකත්වයෙන් ඉවත්කරන ලෙස ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් ලිඛිත ඉල්ලීමක්ද කර තිබිණි. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසයේ එවැනි ඉල්ලීමක් කළ පළමු අවස්ථාවද මෙය වේ.  

අසන්ත මෙල් මහතාගේ සභාපතිත්වයෙන් නව තේරීම් කමිටුව පසුගිය වසරේ නොවැම්බර් මස පත්වීමෙන් පසුව ජනවාරි මස නවසීලන්තයේදී පැවැති එක්දින තරගාවලිය සඳහා එකසැණින් මාලිංග නායකත්වයට පත්කළේය. මාලිංග නායකත්වයට පත්වූයේ ඒ වනවිට නායකත්වයේ කටයුතු කළ දිනේෂ් චන්දිමාල්, ‘හතුරුසිංහගේ මිනිහා’ යන ලේබලය අලවා බව ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයේ කථාබහට ලක්විය. “මේක මගේ අන්තිම ලෝක කුසලානය. මාව කැප්ටන් කරන්න” යැයි ක‍්‍රීඩා අමාත්‍යවරුන් හමුවේ පවා ප‍්‍රකාශ වූ බවට පසුගිය කාලයේ කථා පැතිර ගියේය. 

මාලිංග නිත්‍ය නායකත්වයට පත්ව නවසීලන්ත සංචාරයේ එක්දින තරග තුනේ සිට දකුණු අප‍්‍රිකානු සංචාරයේ විස්සයි20 තරග තුන දක්වා ඔහුගේ නායකත්වයෙන් සහභාගි වූ තරග 12 ක් හෙවත් සියලුම තරග ශ්‍රී ලංකාව පරාජයට පත්විය. ඒ අනුව මාලිංගගේ සාර්ථකත්ව ශූන්‍ය වේ. එසේ නැත්නම් මාලිංග අසාර්ථකය. මාලිංග ක‍්‍රීඩකයකු හැටියට ද එම තරග 12 තුළදී අසාර්ථක වී තිබේ. එයට අයත් එක්දින තරග අටේදී මාලිංග කඩුලු 11 ක් පමණක් දවාගෙන තිබේ. නවසීලන්තයට එරෙහිව නෙල්සන්හිදී පැවැති අවසන් තරගයේදී ලකුණු 93 කට කඩුලු තුනක් දවාගැනීම ඔහුගේ දක්‍ෂතම පන්දු යැවීම බවට පත්ව තිබේ.

මෙම තත්ත්වය මත තේරීම් කමිටුව දිමුත් කරුණාරත්න නායකත්වයට ගෙන ඒමට පරිසරය සකස් කරමින් සිටියි. එහි පළමු පියවර ලෙස දිමුත්ට අන්තර් පළාත් තරගාවලියේදී මහනුවර පිලේ නායකත්වය හිමිවිය. මාලිංගට අයි.පී.එල්. තරගාවලියට සහභාගි වීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ අනුමැතිය ලැබීම නායකත්වයෙන් ඉවත්කිරීමේ දෙවැනි පියවර විය හැකිය. එම අනුමැතියත් සමඟ මාලිංග නායකයා ලෙස නොසලකා හරින බවක් හැඟේ.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සහ තේරීම් කමිටුව වඩාත් උනන්දු විය යුත්තේ වඩාත් සුදුසු නායකයා වන ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයට ගෙන ඒමටය. ජාතික වගකීමකදී “මට හතුරුත් එක්ක බෑ” යැයි මැතිව්ස්ට පැවසීය නොහැක. ‘කෙක්කෙන් හෝ කොක්කෙන්’ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවට සෙතක් වේ නම් එහි ප‍්‍රශ්නයක් නැත.

I වරකාගොඩ ගමගේ

 

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00