2019 මාර්තු 30 වන සෙනසුරාදා

ලෝක කුසලාන සංචිතය තෝරණ තරගාවලිය පුස්සක් වෙයිද?

 2019 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 149

එංගලන්තයේදී ලබන මැයි මස අගදී ආරම්භ වන ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය තේරීම සඳහා යැයි පවසමින් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය රුපියල් ලක්‍ෂ 50 කට අධික මුදලක් වැයකරමින් සංවිධානය කරන අන්තර් පළාත් එක්දින තරගාවලිය පුස්සක් බවට පත්වේද යන සැකය මේ වනවිට මතුවී තිබේ. මෙම තරගාවලිය ලබන අපේ‍්‍රල් මස 4 වැනිදා සිට දඹුල්ලේදී සහ පල්ලෙකැලේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ඇතැමුන් කොළඹින් පිට තරගාවලිය සංවිධානය කිරීමට පුදුම උනන්දුවක් දක්වන බව අමුතුවෙන් කිවයුතු නැත. එයට හේතුවද බොහෝ දෙනා දනිති. දඹුල්ලේ සහ පල්ලෙකැලේ පැවැත්වෙන මෙම තරගාවලියට සහභාගි වන කණ්ඩායම් හතරේ ක‍්‍රීඩකයන් 60 ක් සහ නිලධාරීන් 36 ක් සඳහා මෙන්ම විනිසුරුවන්, තරග තීරකවරුන් සහ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලධාරීන් 25 කට පමණද නවාතැන්, ප‍්‍රවාහන, ආහාර පාන සහ වෛද්‍ය ආදි පහසුකම් රැසක් සැපයිය යුතුය. ඒ සඳහා හෝටල් කාමර, සුඛෝපභෝගි වාහන, කෑම සහ ජලය ආදී බොහෝ ඇනවුම් කළ යුතුය. 

එම ඇනවුම් කිරීමේදී සිදුවන්නේ කුමක්ද යන්න අමුතුවෙන් කිවයුතු නැත. ශ්‍රී ලංකාවේදී පැවැති අන්තර්ජාතික තරගාවලියක් අතරතුරදී කොළඹ තරු පංතියේ හෝටලයක නවාතැන් ගෙන ලක්‍ෂ ගණනක බිලක් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් ලබාගත් නිලධාරියා ඇතුළු නමගිය කාමර කාමර වෙන් කරන්නන් තවමත් ක‍්‍රිකට් ආයතනයේ සේවය කරන බැවින් එවැනි දේ නැවත සිදුනොවේ යැයි කිසිවකුට කිව නොහැක. 

මෙහි තරග ප‍්‍රතිඵලය පිළිබඳව අවධානය යොමු කිරීමේදී ද ලක්‍ෂ ගණනක වියදම ‘ගඟට ඉනි කැපුවා’ වැනි ප‍්‍රතිඵලයක් වීම වැළැක්විය නොහැක. මෙම තරගාවලියේදී දස්කම් දක්වන ක‍්‍රීඩකයන්ට ලෝක කුසලාන සංචිතයේ ස්ථානය හිමිවන බව තේරීම් කමිටුව පවසා තිබුණි. එය එසේ නම් තේරීම් කමිටුව දකුණු අප‍්‍රිකානු සංචාරයේදී කණ්ඩායමට ගෙන ආ ඕෂධ ප‍්‍රනාන්දු, අවිෂ්ක ප‍්‍රනාන්දු සහ ඇන්ජලෝ පෙරේරා වැනි ක‍්‍රීඩකයන් මෙම තරගාවලියේ දස්කම් නොදැක්වුවහොත් සංචිතයෙන් එළියට විසි වීමටද ඉඩ තිබේ.. උදාහරණයක් ලෙස අවිෂ්ක ප‍්‍රනාන්දු සහ ඇන්ජලෝ පෙරේරා නියෝජනය කරන කොළඹ කණ්ඩායම වෙනුවෙන් අෂාන් ප‍්‍රියංජන් දස්කම් දැක්වුවහොත් ඔහු ලෝක කුසලාන සංචිතයට ඇතුළත් වන්නේද? යන ප‍්‍රශ්නයට තේරීම් කමිටුව පිළිතුරු සැපයිය යුතුය. 

ශ්‍රී ලංකාවේ වේගවත්ම ටෙස්ට් කඩුලු 100 දවාගත් පිට දඟපන්දු යවන ඩිල්රුවන් පෙරේරා අතිරේක ලැයිස්තුවේ සිටින මහනුවර පිල වෙනුවෙන් එක්දින වරම් ලබා නැති දිලේෂ් ගුණතිලක කඩුලු දවාගතහොත් ඔහු ලෝක කුසලාන තරගාවලියට සහභාගි වනවාද? 

ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් වන චාමර සිල්වා, කොළඹ කණ්ඩායමට ද, ජීවන් මෙන්ඩිස් දඹුල්ල කණ්ඩායමට ද ඇතුළත්ව සිටිති. චාමර සහ ජීවන් සංචිතයට ගෙන ඒමට ලක්‍ෂ 50ක් 60ක් වියදම් කිරීමේ අවශ්‍යතාවක් නොමැත. ඒ සඳහා කළ යුත්තේ සංචිතයට ගෙන ඒම පමණි. ජාතික ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයකු පැවසුවේ චාමර සිල්වා, ලෝක කුසලාන තරගාවලියට සලකා නොබලන බවත් ඔහුගේ අත්දැකීම් පළාත් තරගාවලියට ලබාගැනීමට තරගාවලියට ඇතුළත් කළ බවත්ය.

ක‍්‍රිකට් ආයතනයේ මුදල් නාස්ති නොකර සංචිතයක් කැඳවා තේරීම් තරග කීපයක් පවත්වා අඩු පිරෙව්වේ නම් මීට වඩා සාර්ථකය. මෙම තරගාවලියෙන් පසුවද පරණ සංචිතයම නම් කළහොත් අන්තර් පළාත් එක්දින ක‍්‍රිකට් තරගාවලිය ‘හාස්‍ය ජනක’ චිත‍්‍රපටයක තත්ත්වයට වැටේ. 

I වරකාගොඩ ගමගේ

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00