2019 මාර්තු 23 වන සෙනසුරාදා

හතුරුසිංහ සමඟ තීරණාත්මක පැය දෙක

 2019 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 271

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හදිසි කැඳවීමක් මත පසුගිය අඟහරුවාදා නැවත ශ්‍රී ලංකාවට පැමිණියේය.

පුහුණුකරු සම්බන්ධයෙන් උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳව කණ්ඩායම දැනුවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා මහතා දකුණු අප්‍රිකාවට ගොස් නැවත පැමිණ සිටියි. එහිදී ඇෂ්ලි මහතා කණ්ඩායමට විශේෂ රැස්වීමක් පැවැත්වීය.  

මෙම හදිසි කැඳවීම පිළිබඳව විවිධ මාධ්‍ය වාර්තා සහ විවිධ ප්‍රකාශ පසුගිය සතියේ අසන්නට ලැබුණි. එහිදී විශේෂයෙන්ම කියැවුණේ හතුරැසිංහ මහතා පුහුණුකරු ධුරයෙන් ඉවත් කිරීමේ සූදානමක් පවතින බවයි. 
තවද හතුරුසිංහ මහතා ශ්‍රී ලංකාවට පැමිණි වහාම ඉල්ලා අස්වීමේ ලිපිය බාරදෙන බවද ඇතැම්හු පැවසූහ. මෙම සටහන තබන මොහොත වනවිට හතුරුසිංහ මහතා ශ්‍රී ලංකාවට පැමිණ පැය 24කට අධික කාලයක් පසුවී තිබුණ ද ඔහු ඉල්ලා අස්වීමේ ලිපියක් බාරදී නොතිබුණි. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීහු පසුගිය බදාදා හතුරැසිංහ මහතා සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට සූදානමින් සිටියහ. එදින පෝය දිනය වුවද ක්‍රිකට් ආයතනය තුළ දිනය පුරා විවිධ කමිටු රැස්වීම් කිහිපයක් පැවැත්විණි. 
“හතුරුසිංහ සමඟ වේලාව අරගෙන සාකච්ඡා කරන්න ඕනේ. අඩුම තරමේ පැය දෙකක්වත් තියෙන්න ඕනේ. අපි විශේෂයෙන් කණ්ඩායමේ වර්තමාන තත්ත්වය සහ ලෝක කුසලාන තරගාවලියේ සැලැස්ම පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිතව තිබූ බවද වාර්තා විය. 

“ලසිත් මාලිංගට කණ්ඩායම එකට තියාගන්න බැරි තත්ත්වයක් තියෙනවා. අපි ඒ පිළිබඳවත් අවධානය යොමුකර තිබෙනවා. ඒ සඳහා තේරීම් කමිටුවත් මේ වනවිට අවධානයෙන් ඉන්නවා” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් පැවසීය. 

ඇන්ජලෝ මැතිව්ස් නැවත නායකත්වයට ගෙන ඒමට ක්‍රිකට් පරිපාලනය තුළ වැඩි කැමැත්තක් තිබුණ ද හතුරුසිංහ පුහුණුකරු ධුරය දරණ තෙක් තමන් නායකත්වය බාර නොගැනීමට මැතිව්ස් දැඩි ස්ථාවරයක සිටින බවද වාර්තා වේ. 
දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන විස්සයි20 තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ තාවකාලික පුහුණුකරු ලෙස පන්දු රැකීමේ පුහුණුකරු ස්ටීව් රික්සන් මහතා කටයුතු කරයි.  ස්ටීව් රික්සන් මහතා මීට පෙර ප්‍රධාන කණ්ඩායම් කිහිපයක ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර තිබීම හේතුවෙන් ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු ධුරයේ කටයුතු කිරීමේ හැකියාව ඇති බවට විශ්වාසයක් තිබේ.

ඉදිරි දිනවලදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් බොහෝ දේ විය හැකිය. 

පළමු විස්සයි20 තරගයේ අවසන් පන්දුවේදී නිරෝෂන් දික්වැල්ල වෙතින් දුවද්දී දැවී යෑම මගහැරුණු අවස්ථාවේදී සෙසු ක්‍රීඩකයන්ගේ හැසිරීම අනුව කණ්ඩායම තුළ එකමුතුවක් නොමැති බව නම් පැහැදිලි විය.

 වරකාගොඩ ගමගේ