2019 මාර්තු 16 වන සෙනසුරාදා

රැකගත යුත්තේ හතුරුද? ක්‍රිකට්ද?

 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 359

“දිමුත් ටෙස්ට් කණ්ඩායමේ හැකියාව ප‍්‍රදර්ශනය කර තිබෙනවා. ඒ නිසා එක්දින කණ්ඩායමේ නායකත්වයටත් ඔහු පිළිබඳව අපි අවධානය යොමුකරලා තියෙනවා. නමුත් ඒක හිටිහැටියේ කරන්න බෑ. ඒකට කාලය අවශ්‍යයි” යැයි තේරීම් කමිටුව මාධ්‍ය වෙත පවසා තිබුණි. ලෝක කුසලාන තරගාවලියට තවත් ඉතිරිව ඇත්තේ මාස දෙකකුත් දින කීපයක් පමණි. ශ්‍රී ලංකාව සුපුරුදු පරිදි ලෝක කුසලාන තරගාවලියේදීද කණ්ඩායම සකස් කිරීමේ කටයුත්තේ නිරත වනවාට සැක නැත.

ශ්‍රී ලංකාව මේ සහභාගි වී සිටින්නේ ලෝක කුසලාන තරගාවලියට පෙර අවසන් අන්තර්ජාතික එක්දින තරගාවලියට වන අතර එම තරගාවලියේදීද අවසන් කණ්ඩායමක් තෝරාගැනීමට කිසිදු අවස්ථාවක් නොමැත.

අසන්ත ද මෙල් මහතාගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුවටද දොස් නැගිය නොහැක. මෙය වසර කීපයකට සිට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව ගලාගිය ආකාරයෙන් ලැබුණු නරක ප‍්‍රතිඵලයකි. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ පසුගිය වසර තුනක පමණ කාලය තුළ නායකයන් පස්දෙනකු කටයුතු කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා පිල තුළ වසර තුනක පමණ කාලයක සිට නායකත්වයේ ගැටලුවක් පැවතුණි. 

ආසියානු කුසලාන තරගාවලියේදී බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය හමුවේ පරාජයට පත්ව ලැබූ දැවැන්ත කඩාවැටීම ඇන්ජලෝ මැතිව්ස්ගේ කර මත පටවා ග‍්‍රැහැම් ලැබ්රෝයි මහතාගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව මැතිව්ස් ඉවත්කර චන්දිමාල් නායකත්වයට පත් කළේය. එය හුදෙක්ම පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ මැදිත්වීමෙන් සිදුවූවක් බව එම ඉවත්කිරීම පිළිබඳව මැතිව්ස් ක‍්‍රිකට් ආයතනයට යොමු කළ ලිපියෙන් තහවුරු විය.

ඉන්පසුව අසන්ත ද මෙල් මහතාගේ සභාපතිත්වයෙන් නව තේරීම් කමිටුව පත්වීමෙන් පසුව ටෙස්ට් පිලේ නායකත්වය දිමුත්ටද, එක්දින පිලේ නායකත්වය ලසිත් මාලිංගට ද ලබාදීමට පියවර ගනු ලැබීය. ලසිත් මාලිංගට එක්දින පිලේ නායකත්ව ලබාදීම ‘ඉඟුරු දීලා මිරිස් ගත්තා’ වැනි වැඩකි. මාලිංග සහ චන්දිමාල් යන දෙපළ සංසන්දනය කිරීමේදී ක‍්‍රීඩකයන් සමඟ සුහද සම්බන්ධතාව යන කරුණ දෙස අවධානය යොමුකිරීමේදී චන්දිමාල් ගව් ගණනක් ඉදිරියෙන් සිටියි. 

මාලිංග නායකත්වයට පත්වූ වහාම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම තුන් ඉරියව් ක‍්‍රීඩකයා වන තිසර පෙරේරා, මාලිංග නායකත්වයෙන් ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට පැහැදිලිව සහ ලිඛිතව දැනුම් දුන්නද ඒ පිළිබඳව කිසිවකු ගාණකට හෝ ගත්තේ නැත. මාලිංගට කණ්ඩායමේ ක‍්‍රීඩකයන්ගෙන් බහුතරයක් සහයෝගය නොදක්වන බව ප‍්‍රසිද්ධ රහසකි. ලසිත් මාලිංග නායකත්වයට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකා එක්දින පිල මේ වනවිට නවසීලන්තයේදී සහ දකුණු අප‍්‍රිකාවේදී පිට පිටම එක්දින තරග හයක් පරාජයට පත්ව තිබේ. 

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී පසුගිය වසරේ සැප්තැම්බර් මස පැවැති ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ සිට ශ්‍රී ලංකා එක්දින පිල තරග 13කට සහභාගි වී එංගලන්තයට එරෙහිව තරගයක් පමණක් ජය ලබා ඇති අතර තරගයක් විසඳුමකින් තොරව අවසන් වී තිබේ. සෙසු තරග 11 පරාජයට පත්වීම කැපී පෙනේ. චන්දික හතුරුසිංහ මහතා පුහුණුකරු ලෙස කටයුතු කරන තෙක් තමන් නායකත්වය බාරනොගන්නා බව ඇන්ජලෝ මැතිව්ස් ක‍්‍රිකට් බලධාරීන්ට මෙන්ම ක‍්‍රීඩා අමාත්‍යවරයාට ද පවසා තිබේ. මෙහිදී ක‍්‍රීඩා බලධාරීන් තීරණය කළ යුත්තේ හතුරැසිංහ රැකගන්නවාද එසේ නැත්නම් ශ්‍රී ලංකා ක‍්‍රිකට් රැකගන්නවාද යන්නයි. වර්තමානයේ ශ්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක්‍රීඩකයන් අතරින් නායකත්වයට වඩාත් සුදුස්සා ඇන්ජලෝ මැතිව්ස් බව අමුතුවෙන් කිවයුතු නැත.

දිමුත් කරුණාරත්න ටෙස්ට් පිලේ නායකයා ලෙස සාර්ථක වුවද එක්දින පිලේ ක‍්‍රීඩකයකු ලෙස හෝ අඛණ්ඩව ක‍්‍රීඩාකර නොමැත. ඒ හේතුවෙන් ක‍්‍රිකට් බලධාරීන් දිමුත් නායකයා කිරීමට වඩා ඵලදායි තීරණයක් ගනු ඇතැයි ශ්‍රී ලංකා ජනතාව විශ්වාසය පළකරති. 

I විශේෂ ලියුම්කරුවකු විසිනි