2019 මාර්තු 09 වන සෙනසුරාදා

ජාතික මහා ක්‍රීඩා උළෙල අවුලක?

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 159

ක‍්‍රීඩා අමාත්‍යංශය වාර්ෂිකව සංවිධානය කරන විශාලතම ක‍්‍රීඩා උළෙල වන ජාතික මහා ක‍්‍රීඩා උළෙල පවත්වන ස්ථානය පිළිබඳව පසුගිය සතිය වනවිට ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණ වී තිබුණි. ජාතික මහා ක‍්‍රීඩා උළෙල බදුල්ලේ පැවැත්වීමට පසුගිය සතියේ නව යෝජනාවක් ඉදිරිපත්ව තිබීම කැපී පෙනුණි. එය අහම්බයෙන් පැමිණි යෝජනාවක් ලෙස සැළකිය නොහැකි අතර ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතාගේ බල ප‍්‍රදේශය බදුල්ල දිස්ත‍්‍රික්කය බව අමතක නොකළ යුතුය.

මෙම ක‍්‍රීඩා උළෙල නැගෙනහිර පළාතට අයත් අම්පාර හෝ මඩකළපුව යන දිස්ත‍්‍රික්ක දෙකෙන් එකක පැවැත්වීමට මීට පෙර සැළසුම්කර තිබුණි. එම ප‍්‍රදේශවල නවාතැන් පහසුකම් පිළිබඳව ප‍්‍රශ්නයක් මතු වී ඇති බව දැන් අසන්නට ලැබේ. බදුල්ලේදී 2004 වසරේ අවසන් වරට ජාතික මහා ක‍්‍රීඩා උළෙල පවත්වා තිබේ. මෙවර බදුල්ලේදී පැවැත්වුවහොත් එය වසර ඌව පළාතට වසර 15කට පසුව ලැබෙන අවස්ථාවක් බවට පත්වේ. 

ත‍්‍රිකුණාමලයේදී 1976 වසරේ නැගෙනහිර පළාතේ එකම ජාතික මහා ක‍්‍රීඩා උළෙල පත්වා තිබේ. ඒ මීට වසර 43 කට පෙර වීම කැපී පෙනේ. ඒ ආකාරයට බලන කළ ක‍්‍රීඩා අමාත්‍යවරයාගෙන් ලකුණු දමා ගැනීමට ජාතික මහ ක‍්‍රීඩා උළෙල බදුල්ලට දීම සාධාරණ නොවන බව පැහැදිලිය.

ජාතික මහා ක‍්‍රීඩා උළෙලෙන් කඹඇදීම, හැන්ඩ්බෝල් සහ තුන්ප‍්‍රයාම යන ක‍්‍රීඩා ඉවත්කිරීමට සංවිධායකයන් පියවර ගැනීම පිළිබඳවද මේ වනවිට කථාබහක් නිර්මාණය වී තිබේ. කඹ ඇදීමේ ක‍්‍රීඩාව තවදුරටත් ජනප‍්‍රිය කිරීමට මිලියන ගණනක් වැය කරමින් ක‍්‍රීඩා සමාජවලට කඹ ලබාදී ඇති පසුබිමක් තුළ ජාතික මහා ක‍්‍රීඩා උළෙලෙන් ඉවත්කිරීම පිළිබඳව ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය තුළ දැඩි කථාබහක් නිර්මාණ වී තිබේ. 

ශ්‍රී ලංකාවේ පසුගිය වසර දහයක පමණ කාලයක් ක‍්‍රීඩා අමත්‍යවරුන් ලෙස කටයුතු කළ බොහෝ දෙනකු තමන්ගේ ප‍්‍රදේශයට වැඩි යමක් කරගැනීමට උත්සාහ කළ බව උදාහරණ සහිතව පෙන්වා දිය හැකිය. හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ක‍්‍රීඩා අමාත්‍ය ධුරය දරණ අවධියේදී ඒ මහතාගේ මැතිවරණ කොට්ඨාසය වන නාවලපිටියට රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් දැවැන්ත ගෘහස්ථ ක‍්‍රීඩාංගණයක් පවා ලැබුණි. ඉන්පසුව ජාතික මට්ටමේ බොහෝ ක‍්‍රීඩා තරගාවලි නාවලපිටිය ජයතිලක ක‍්‍රීඩාංගණයට ඇදුණි.

දයාසිරි ජයසේකර මහතා ක‍්‍රීඩා අමාත්‍ය ධුරයේ කටයුතු කළ කාලයේ ක‍්‍රීඩා අමාත්‍යංශයෙන් ඒ මහතාගේ ඡන්ද බල ප‍්‍රදේශය වන කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ක‍්‍රීඩාංගණ සඳහා රුපියල් මිලියන ගණනක අති දැවැන්ත මුදලක් ලබාදී තිබුණි. ඉන්පසුව ක‍්‍රීඩා අමාත්‍ය ධුර දැරූ ෆයිසර් මුස්තාෆා මහතා ක‍්‍රීඩා අමාත්‍යංශය මිලදීගත් ක‍්‍රීඩා උපකරණ ඒ මහතාගේ ඡන්ද බලප‍්‍රදේශය වන කොළඹ ප‍්‍රදේශයේ ක‍්‍රීඩා සමාජවලට බෙදාදුන් බවද වාර්තා විය.

වර්තමාන ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතාගේ බල ප‍්‍රදේශයේ ක‍්‍රීඩාංගණයක් වන බදුල්ල වින්සන්ට් ඩයස් ක‍්‍රීඩාංගණයට මේ වනවිටත් ශ්‍රී ලංකා ප‍්‍රධාන ක‍්‍රීඩා සංගමයකින් රුපියල් මිලියන පහකට ආසන්න මුදලක් ලබාදීමට තීරණය කර ඇති බවද වාර්තා වේ. දකුණු අසියානු ක‍්‍රීඩා උළෙල නේපාලයේදී ලබන දෙසැම්බර් මස 1 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කිරීමත් සමඟ ජාතික ක‍්‍රීඩා උළෙල සැප්තැම්බර් මස පවත්වා අවසන් කිරීමේ අවශ්‍යතාවක් ද තිබේ. එම ක‍්‍රීඩා උළෙලට ක‍්‍රීඩා 27 ක් ඇතුළත් වන අතර එයට විස්සයි20 ක‍්‍රිකට්ද ඇතුළත්ව තිබේ. 13 වැනි ‘සාග්’ ක‍්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ සහභාගිත්වය සහ සංචිත ගතකිරීම පිළිබඳ විශේෂ රැස්වීමක් ලබන සතියේ ජාතික ඔලිම්පික් කමිටුවේ සම්බන්ධීකරණයෙන් පැවැත්වීමට නියමිතය. 

I විශේෂ ලියුම්කරුවකු විසිනි

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00