2019 මාර්තු 08 වන සිකුරාදා

ලෝක කුසලානෙන් පස්සේ ශ්‍රී ලංකාවේ තුන්කොන් තරගාවලියක්

 2019 මාර්තු 08 වන සිකුරාදා, ප.ව. 05:24 129

ඩුබායිහිදී පැවැති අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ (අයි.සී.සී.) සාමාජික රැස්වීමට සහභාගී වූ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නව සභාපති ශම්මි සිල්වා මහතා ප‍්‍රමුඛ නිලධාරීහු අයි.සී.සී. ප‍්‍රධානීන් සමඟ කළ සාකච්ඡා ප‍්‍රතිඵල ගෙන දෙමින් රුපියල් මිලියන 11.5 ක් හෙවත් රුපියල් කෝටි 207 කට ආසන්න මුදලක් ගෙන ඒමට සමත් වී සිටිති. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට අයි.සී.සී.යෙන් ලබන ජූලි මස තවත් ඩොලර් මිලියන 6.5ක් හෙවත් රුපියල් කෝටි 117 කට ආසන්න මුදලක් ලැබීමට නියමිතය.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලනයේ පැවැති ව්‍යාකූල තත්ත්වය හේතුවෙන් මෙම දැවැන්ත මුදල මාස නවයකට අධික කාලයක් අයි.සී.සී. රඳවාගෙන සිටියේය. ශ්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලනයට නිලවරණයෙන් නිලධාරීන් පත්වීම නිසා ඉදිරියේ මුදල් ලැබීම පිළිබඳව ප‍්‍රශ්නයක් ඇති නොවනු ඇත. ශ්‍රී ලංකා ක‍්‍රිකට් මාස නවයකට අධික කාලයක් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ ‘නිරීක්‍ෂණ’ මට්ටමේ සාමාජිකත්වයක් දැරූ අතර මෙම රැස්වීමේදී ශ්‍රී ලංකාවට නැවතත් පූර්ණ සාමාජිකත්වය හිමිවිය.

මෙම රැස්වීම පිළිබඳව ‘දේශය’යට අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවසුවේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව මාස නවයකට පමණ පසු නැවතත් පණ ලැබූ බවයි.

“අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ සාමාජිකයන් නැවතත් අපිව පූර්ණ සාමාජිකයන් හැටියට පිළිගත්තා. රැස්වීමේදී අපිට හොඳ පිළිගැනීමක් ලැබුණා” යැයි සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකාවේදී තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියක් පැවැත්වීම සඳහා මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බවද වාර්තා වේ. බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් එම තරගාවලියේ සෙසු කණ්ඩායම් දෙක බවට පත්වීමට බොහෝදුරට ඉඩ තිබේ. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලනය මේ වනවිට කඩිනම් සංවර්ධන ව්‍යාපෘති කීපයකට දැඩි අවධානය යොමුකර තිබේ. එහි පළමු පියවර ලෙස කොළඹ ආර්. ‍ප්‍රේමදාස ක‍්‍රීඩාංගණයේ පිහිනුම් තටාකයක් සහ නේවාසිකාගාරයක් ඉදිකිරීමට ලබන මස වැඩ ආරම්භ කිරීමට නියමිතය. මෙම නේවාසිකාගාරය ආර්.  ‍ප්‍රේමදාස ක‍්‍රීඩාංගණයේ ප‍්‍රධාන ප්‍රේක්ෂකාගාරය සහ විශේෂ පේ‍්‍රක්‍ෂකාගාර අතර පවතින ඉඩ ප‍්‍රයෝජනයට ගනිමින් ඉදිකිරීමට නියමිතය. එය විදේශිකයන්ට පවා නේවාසික පහසුකම් සැපයිය හැකි ආකාරයට ඉදිකිරීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සූදානම් වෙයි. එහි එකවර පුද්ගලයන් 50ත් 80ත් අතර සංඛ්‍යාවකට නේවාසික පහසුකම් සැපයිය හැකි ආකාරයට මෙම නේවාසිකාගාරය ඉදිකිරීමට නියමිතය.  
දෙවැනි සහ තුන්වැනි පියවර ලෙස පල්ලෙකැලේ සහ දඹුල්ල යන ක‍්‍රීඩාංගණවලද පිහිනුම් තටාක ඉදිකිරීමට ලබන මස මුල්ගල් තැබීමට නියමිත බව ක‍්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවසීය.

I යොහාන් භාසුර

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00