2019 මාර්තු 09 වන සෙනසුරාදා

ශ්‍රී ලංකා පිලට සැලසුමක් නැද්ද?

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 124

දකුණු අප‍්‍රිකාවට එරෙහිව මුලින් පැවැති එක්දින තරග දෙකම ශ්‍රී ලංකා එක්දින ක‍්‍රිකට් පිල මේ වනවිට පරාජය වී අවසන්ය. සෙන්චූරියන්හිදී පසුගිය බදාදා පැවැති දෙවැනි තරගයෙන් ලකුණු 113 ක පරාජයක් ලැබීය. මෙම තරග දෙක දෙස බැලීමේදී ශ්‍රී ලංකා පිලට අතේ තිබුණ දේ කටේ දමා ගැනීමට නොහැකි වූ බව පැහැදිලිය. 

ශ්‍රී ලංකා පිල සැලසුමකට අනුව ක‍්‍රීඩා කළේ නම් මෙම තරග දෙකේම ප‍්‍රතිඵලය වෙනස් කිරීමේ හැකියාව තිබුණි. කෙසේ වෙතත් එවැනි කිසිදු සැලැස්මක් ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් තුළින් නොපෙනුණි. දෙවැනි තරගයේදී ලකණු 252ක ඉලක්කය හඹායෑමේදී පළමු කඩුලු තුන කලින්ම බිඳ වැටුණද ඕෂද ප‍්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් සැලසුම් සහගතව ක‍්‍රීඩා කළේ නම් ජයග‍්‍රහණයට යෑමට අවස්ථාව තිබුණි. පළමු තරගයේ අවස්ථාව අහිමිවූ අවිෂ්ක ප‍්‍රනාන්දු මෙම තරගයට කැඳවා තිබුණද ඔහුට සාර්ථක වීමේ අවස්ථාව අහිමිවිය. 

ශ්‍රී ලංකා පිලට පාසල් කණ්ඩායමකට ලැබෙන තරම් හෝ උපදෙස් නොලැබේදැයි පළමු එක්දින තරගය දෙස බැලීමේදී සැකසහිතය. පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල 38 වැනි ඕවරය අවසන් වනවිට කඩුලු පහක් දැවී ලකුණු 208 ක් ලබා සිටියේය. එය එසේ වුවද ඕවර 47 කදී ලකුණු 231 කට සීමාවිය.

එහිදී පසු පෙළ ක‍්‍රීඩකයන් ඕවර 50 ක‍්‍රීඩා කිරීම සිතේ තබාගෙන පන්දුවට පහර දුන්නේ නම් තරගයේ ප‍්‍රතිඵලය වෙනස්විය හැකි ආකාරයේ ලකුණු සංඛ්‍යාවක් කරා යෑමේ අවස්ථාව තිබුණි. එහිදී තිසර පෙරේරාගෙන් සුපුරුදු පිතිහරඹයක් ප‍්‍රදර්ශනය වූයේ නම් ශ්‍රී ලංකා පිලට පහසුවෙන් ලකුණු 300 කට යෑමට අවස්ථාව තිබුණි. නමුත් තිසර ලකුණු හතකට දැවී ගියේය. 

ශ්‍රී ලංකා පිලේ නායක ලසිත් මාලිංගට කිසියම් ක‍්‍රීඩකයකු හෝ ක‍්‍රීඩකයන් කීපදෙනෙකු සහයෝගය නොදෙන්නේ නම් ක‍්‍රිකට් පරිපාලනය ඒ පිළිබඳව තීරණයක් ගතයුතුය. කිසියම් ක‍්‍රීඩකයෙක් නායකයාට සහයෝගය නොදෙන්නේ නම් ක‍්‍රියාමාර්ග දෙකක් ගැනීමේ අවස්ථාව ක‍්‍රිකට් පරිපාලනයට තිබේ. එසේ නම් නායකයා නායකත්වයෙන් ඉවත් කළ යුතුය. එසේ නොවේ නම් සහයෝගය නොදෙන ක‍්‍රීඩකයා කණ්ඩායමෙන් ඉවත් කළ යුතුය. ජාතික කණ්ඩායම යනු ක‍්‍රීඩකයන්ගේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් එසේ නැත්නම් පුහුණුකරු වෙනුවෙන් කටයුතු කරන තැනක් නම් නොවේ. තිසර පෙරේරා ක‍්‍රිකට් පරිපාලනයෙන් මාලිංග නායකත්වයෙන් ඉවත් කරන ලෙස ලිඛිතව ඉල්ලීමක් කළද නව පරිපාලනය ඒ සඳහා මේ දක්වා කිසිදු පියවරක් ගෙන නොමැත.  

අවිෂ්ක ප‍්‍රනාන්දු පුහුණු තරගයේදී අර්ධ ශතකයක් රැස්කළද පළමු එක්දින තරගයේ අවස්ථාව අහිමිවීම කැපී පෙනුණි. පළමු තරගයේ ආරම්භක පිතිකරැවන් ලෙස කටයුතු කළ උපුල් තරංග සහ නිරෝෂන් දික්වැල්ල අසාර්ථක වූහ. නිරෝෂන් දික්වැල්ල දෙවැනි තරගයේදීද අසාර්ථක විය. දික්වැල්ලටද උපනායක අපලය බලපා ඇති ඇතැම්හු පවසති. 

I වරකාගොඩ ගමගේ