2019 මාර්තු 02 වන සෙනසුරාදා

අතිරේක සංචාරයකට අවස්ථාවක් සොයා බලනවා

 2019 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 134

- ශ්‍රී ලංකා ක්‍රිකට් නව සභාපති ෂම්මි සිල්වා

ශ්‍රී ලංකා එක්දින ක‍්‍රිකට් කණ්ඩායමට දකුණු අප‍්‍රිකානු සංචාරයෙන් පසුව ලැබෙන මාසයකට අධික විවේක කාලයේදී අතිරේක තරග සංචාරයක් යොදා ගැනීමට ක‍්‍රිකට් විධායක කමිටුව අදහස් කර ඇතැයි ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නව සභාපති ශම්මි සිල්වා මහතා ‘දේශය’ට පැවසීය. 

දකුණු අප‍්‍රිකානු සංචාරය මේ මස 24 වැනිදා අවසන් වන අතර එතැන් සිට මාසයකට වැඩි කාලයක් ශ්‍රී ලංකා පිලට කිසිදු තරගාවලියක් නොමැත. ශ්‍රී ලංකා පිල ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමට පෙර මැයි මස මැද ස්කොට්ලන්තයට එරෙහිව එක්දින තරග දෙකකට සහභාගි වීමට නියමිතය.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතන නිලධාරීහු අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ සාමාජික රැස්වීමට සහභාගි වීම සඳහා පසුගිය 28 වැනිදා ඩුබායි බලා පිටත්ව ගියහ. එම රැස්වීම පිළිබඳව ශම්මි සිල්වා මහතා මෙසේ අදහස් දැක්වීය. 

“අන්තර්ජාතික ක‍්‍රිකට් සභා රැස්වීමට ගිහිල්ලා සෙසු රටවල් සමඟ සාකච්ඡා කරලා අතිරේක සංචාරයක් ලබාගැනීමේ බලාපොරොත්තුවකුත් තියෙනවා. එයින් කිසියම් ප‍්‍රයෝජනයක් ගන්න තමයි අදහස.”

“අපි 2 වැනිදා අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ රැස්වීමට සහභාගි වෙනවා. අයි.සී.සී. එකෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 17.5ක් ලැබෙන්න තියෙනවා. අයි.සී.සී. රැස්වීමේදී අපව ස්ථාපිත කළාට පසුව අපි ඒ මුදල ඉල්ලන්න අදහස් කරලා තියෙනවා.”

ජාතික කණ්ඩායම සහ ලෝක කුසලාන තරගාවලිය පිළිබඳව සභාපතිවරයා මෙසේ පැවසීය. 

“තේරීම් කමිටුව අතේ තමයි කණ්ඩායම ගැන තීරණය තියෙන්නේ. අපිට දක්ෂයෝ ඉන්නවා. දකුණු අප‍්‍රිකානු සංචාරයේදී එය ප‍්‍රදර්ශනය කළා. නවක ක‍්‍රීඩකයෝ තමයි දස්කම් දැක්වූවේ. මම හිතනවා දකුණු අප‍්‍රිකාවට එරෙහිව එක්දින තරගාවලියේදීද දස්කම් අතරට එයි කියලා. ලෝක කුසලානයට ආබාධවලින් තොර කණ්ඩායමක් ඉදිරිපත් කරන්න තමයි අපි සැලසුම් කරලා තියෙන්නේ. ඒ වගේම දක්‍ෂතම කණ්ඩායම තේරුවොත් අපිට අනිවාර්යෙන්ම හොඳ අවස්ථාවක් තියෙනවා ජය ලබන්න. අපි හොඳට ක‍්‍රීඩා කළහොත් සෙසු රටවල්වල කණ්ඩායම් මානසික වැටෙනවා.”
ශ්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලනය පිළිබඳව සභාපතිවරයා මෙසේ අදහස් දැක්වීය. 

“සේවකයෝ වැඩියි කියන එක අපිට තේරෙනවා. වැඩකරන සේවකයෝ තියාගෙන සේවකයෝ අඩු කරන්න බලාපොරොත්තු වෙනවා. ක‍්‍රිකට් ආයතනය මහලු මඩමක් නෙවෙයිනේ. ක‍්‍රිකට් ආයතනයේ සල්ලි අයිති සාමාජිකයන්ට. ක‍්‍රිකට් එකේ පැවැත්මට අපි සල්ලි යොදවන්න ඕනේ.”

ක‍්‍රිකට් නිලවරණයේදී ‘රණතුංග’ පාර්ශවයෙන් උප සභාපති ධූරයට තේරීපත් වූ කේ. මතිවානන් මහතාට ක‍්‍රිකට් මූලස්ථානයේ කාර්යාලයක් නොලැබීම පසුගිය සතියේ කථාබහට ලක්ව තිබුණි. ඒ මහතාට ලැබිය යුතු කාර්යාලය දොර අගුල් දමා ඇති බව වාර්තා විය.    

I යොහාන් භාසුර

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00