2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා

ක්‍රිකට් නිලවරණයේ ප්‍රතිඵලයට ගිනි පුපුරු

 2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 211

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණයෙන් ‘සුමතිපාල’ පාර්ශ්වය නැවතත් බලයට පත්වූ පසුගිය බ‍්‍රහස්පතින්දාම ශ්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටුව සහ ක‍්‍රීඩා අමාත්‍යංශය අතර ගිනි ඇවිලෙන බවට ඉඟි පළවිය. 

නිලවරණය අවසන් වීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පැවසුවේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට මේ වන විටත් කටයුතු කරමින් සිටින බවයි.

‘‘ශ්‍රී ලංකාවේ ක‍්‍රිකට්වල පමණක් නොව අනෙක් ක‍්‍රීඩාවලත් ව්‍යවස්ථා වෙනස් වියයුතුයි කියලා මම විශ්වාස කරනවා. මම ඊයේ (පසුගිය බදාදා) දවසේ මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාරගේ වාර්තාව අරගෙන උදේ නවයේ සිට දහයාමාර දක්වා සකච්ඡා කළා. ඒක ඉතාමත් හොඳ දෙයක්. දේශපාලනීකරණයෙන් ක‍්‍රීඩාව ඉවත් කරන්න හොඳ ව්‍යවස්ථාවක්’’

‘‘ඉදිරි සති තුන ඇතුළත එයට අවශ්‍ය කැබිනට් පත‍්‍රිකාව සකස් කරනවා. කැබිනට් පත‍්‍රිකාවෙන් පසුව මැයි මාසෙ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා පනතක් හැටියට සම්මත කරගන්න බලාපොරොත්තු වෙනවා’’
ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ ඉහත ප‍්‍රකාශයේ උණුසුම මැකී යෑමටත් පෙර නව ලේකම් මෙහාන් ද සිල්වා මහතා එම අසුනේ සිටම මෙසේ පැවසීය. 

‘‘අපි ඒ පිළිබඳව දැනුවත් නෑ. කිසිවෙකුටත් අසාධාරණයක් නොවෙන්න එය කළ යුතුයි. මහේල සහ සංගා අපිට ව්‍යවස්ථාවක් දීලා නෑ. ඔවුන් අපිට දුන්නේ තරගාවලි වෙනස් කරන්න සැලැස්මක්. ප‍්‍රසන්න ජයවර්ධන නීතිඥ මහත්මයත් ඉතාමත් හොඳ ව්‍යවස්ථාවක් හදලා තිබුණා. නමුත් මේවා ඉතාමත් පරිස්සමට කළ යුතුයි’’

මෙම ව්‍යවස්ථා වෙනස තුළ ක‍්‍රීඩා සමාජ සහ නිලවරණයේ ඡන්ද කප්පාදුව පැවතීම හේතුවෙන් නව ක‍්‍රිකට් පරිපාලනය එයට කැමතිවීමට ඇති ඉඩ ඉතාමත් අඩුය. 

මෙවර නිලවරණයේදී ‘සුමතිපාල’ පාර්ශ්වය සුපුරුදු පරිදිම නැවතත් බලය පෙන්වීම වඩාත් කැපී පෙනුණි. එම පාර්ශ්වයේ සභාපති අපේක්‍ෂක වූ මොහාන් ද සිල්වා සහ උප ලේකම් අපේක්‍ෂක වූ රවීන් වීක‍්‍රමරත්න යන මහත්වරුන්ගේ නාමයෝජනා ප‍්‍රතික්ෂේප වීමත් සමඟ ‘රණතුංග’ පාර්ශ්ව හිස ඔසවා සිටියේය.

ක‍්‍රීඩා අමාත්‍යංශය නිලවරණයට පෙර දින අභියාචනාධිකරණයේදී මොහාන් සහ රවීන් යන මහත්වරුන්ට ලේකම් සහ උප සභාපති ධූරවලට තරග කිරීමට අවස්ථාව දීමට එකඟ විය. ඒත් සමඟම ශම්මි සිල්වා මහතා සභාපති ධූරයට තරග කර ජය ලැබීය. 

 ‘රණතුංග’ පාර්ශවයෙන් උප සභාපති ධූරයට තරග කළ හිටපු උප සභාපතිවරයකු ද වන කේ. මතිවානන් මහතා පමණක් නැවත ඡන්දයෙන් තේරීපත්විය.

හිටපු ටෙස්ට් ක‍්‍රීඩකයන් වන අමාත්‍ය අර්ජුන රණතුංග සහ ඔහුගේ සොයුරු නිශාන්ත රණතුංග යන දෙපළම මෙවර ද පරාජයට පත්වීම කැපී පෙනුණි. ලෝක ශූර ශ්‍රී ලංකා පිලේ නායක අර්ජුන රණතුංග ක‍්‍රිකට් නිලවරණයෙන් තෙවැනි වරටත් පරාජය වීම වඩාත් කැපී පෙනුණි. හිටපු ලේකම්වරයකු වන නිශාන්ත රණතුංග මහතා නිලවරණයෙන් පරාජයට පත්වූ දෙවැනි අවස්ථාව මෙය වේ.

අර්ජුන රණතුංග මහතා ක‍්‍රිකට් ඡන්ද පදනම කෙමෙන් කෙමෙන් වර්ධනය කරගනෙ ඇති බව පෙනේ. ඔහු පළමු වරට සභාපති ධූරයට තරග කළ අවස්ථාවේදී ඡන්ද හයක් (06) පමණක් ලබාගත් අතර මෙවර ඡන්ද 72 ක් ලැබීම පැහැදිලි වර්ධනයකි.

‘සුමතිපාල’ පාර්ශ්වයේ ඡන්ද පදනම සභාපති අපේක්‍ෂකයා කවුරු වුවද ශක්තිමත්ව පවතින බව මෙම ප‍්‍රතිඵලයෙන් පැහැදිළි වේ. ශම්මි සිල්වා මහතා සභාපති ධූරයට නම් කර පැය කිහිපයකදී ඡන්ද 83 ක් ලබාගත් අතර ප‍්‍රතිවාදියා වූ ජයන්ත ධර්මදාස මහතාට ඡන්ද 56 ක් පමණක් ලැබුණි.

මෙවර ද ‘රණතුංග’ පාර්ශ්වයට උතුරු සහ නැගෙනහිර පළාත්වල ඡන්ද නොලැබුණු අතර එම පාර්ශවයෙන් උප සභාපති ධූරයට තේරීපත් වූ කේ. මතිවානන් මහතාට පමණක් එම පළාත් දෙකේ ඡන්ද හිමිව තිබේ.

මෙවර පත්වූ නිලධාරීන් හයදෙනා අතරින් භාණ්ඩාගාරික ධූරයට පත්වූ ලසන්ත වික‍්‍රමසිංහ මහතා පමණක් ශ්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටුවට කෝඩුකාරයෙක් වේ. වික‍්‍රමසිංහ මහතා ඡන්ද 100 ක් ලබාගනිමින් වැඩි ඡන්ද ලැබූ නිලධාරියා බවට පත්විය. 

කෙසේ වෙතත් මෙම පරාජයෙන් පසුව ද ‘රණතුංග’ පාර්ශවයේ ප‍්‍රබලයන් වන ජයන්ත, අර්ජුන සහ නිශාන්ත යන මහත්වරු පැවසුවේ මෙම ඡන්ද පිටුපස මුදල් තිබෙන බවය. 

ඡන්දය අවසන් වී තිබේ. දැන් ක‍්‍රිකට් ගොඩගැනීමේ මෙහෙයුම මොහාන් ද සිල්වා මහතා ඇතුළු කණ්ඩායම ආරම්භ කළ යුතුය.

 යොහාන් භාසුර

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00