2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා

කුසල් පෙරේරා කපා දැම්මේ හතුරුසිංහයි

 2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 339

“හතුරුසිංහගෙ තේරීම් ඉවත්කිරීමෙන් තමයි මේ වෙනස වුණේ. කුසල් ජනිත් පහළොවේවත් හිටියේ නෑ. හතුරුසිංහ කුසල් ජනිත්ව එපා කිව්වා. අපි තමයි ෆයිට් කරලා යැවුවේ. ඔය වෙනස වුණේ තේරීම්වල කළ වෙනස නිසයි. වෙන මුකුත් නෑ. මෙච්චරකල් හතුරුසිංහට ඕන සියලුම දේවල් දීලා එංගලන්ත තරග තුනම පැරදුණානේ. බි‍්‍රස්බේන් ගිහිල්ලා කුසල් රණ්ඩු කළා එයාට පුහුණුවීම්වලදී බැට් කරන්න දෙන්න කියලා. හතුරුසිංහ කිව්වාලු හැමෝම බැට් කරන්න ඕනේ නෑ. මැච් එක ගහන්නේ නැති අය බැට් කරන්න ඕනේ නෑ කියලා” 

කුසල් පෙරේරාගේ දැන් පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ සහභාගිත්වය පිළිබඳව ජාතික ක‍්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයෙක් ‘දේශය’ පැවසීය.

දකුණු අප‍්‍රිකාවට එරෙහිව ඩර්බන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා පිල ලැබූ කඩුල්ලක තියුණු ජයට කුසල් ජනිත් පෙරේරා නොදැවී රැස්කළ ලකුණු 153 තීරණාත්මක සාධකය බවට පත්විය. කෙසේ වෙතත් කුසල් පෙරේරා ඇතුළු කණ්ඩායමේ ඇතැම් ක‍්‍රීඩකයන් සාදයක් පවත්වමින් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විවේචනය කළ ආකාරය විඩියෝවක් මගින් දැකගත හැකිවිය. 

එහිදී වේගපන්දු යවන ක‍්‍රීඩක සුරංග ලක්මාල් ‘පරුෂ’ වචනයෙන් කිසියම් පුද්ගලයකුට හෝ කණ්ඩායමකට චෝදනා කරන ආකාරය ද අසන්නට ලැබුණි. එය එසේ වුවද තේරීම් කමිටු සාමාජිකයෙක් එම සියලු ප‍්‍රකාශ අසත්‍ය බවට ‘දේශය’ට ප‍්‍රකාශ කළේය. 

“ඕස්ටේ‍්‍රලියා පළමු ටෙස්ට් තරගයට කුසල් ජනිත් ගැහුවේ නෑ. දෙවැනි ටෙස්ට් තරගය වන විට අපිට බලය ලැබුණානේ. ඉන් පස්සේ අපි තමයි ගැස්සුවේ. ඒක තමයි වෙනස. අපි ඕෂද යැව්වා. ඒ අය තමයි අපේ අනාගත ක‍්‍රීඩකයෝ. දැන් ඒ අයනේ දස්කම් දැක්වූවේ. මෙච්චර කල් අපේ වේග පන්දු යවන්නන් හතරක් හිටියා ඒගොල්ලො මොනවද කළේ?”

“දුෂ්මන්ත චමීර මුකුත් කරලා නෑ. නුවන් ප‍්‍රදීප් මුකුත් කරලා නෑ. ළහිරු කුමාර. ඔය සියලු දෙනාම ආබාධ තියාගෙන හැමදාම යනවා. ජ්‍යෙෂ්ඨ ජ්‍යෙෂ්ඨ කිය කියා යනවා. රොෂේන් සිල්වා ගස්සන්න එපා කියලා අපි කිව්වා. හැබැයි ඔහු ආසියාවෙදි හොඳයි ඒක ප‍්‍රශ්නයක් නෑ. තිරිමාන්න වුණත් ඉඳලා ඉඳලා හොඳ පන්දුවට දැවී යනවා. හිටියයි කියලා ලකුණු එන්නේ නෑ. කුසල් වගේ පන්දු යවන්නාට ඇටෑක් කරන්න ඕනේ. ඇතැම් ක‍්‍රීඩකයන් ආරක්‍ෂා කළා. ඒකයි වුණේ. පොඩි එවුන් ඉදිරියට ගෙන්න ඕනේ. දැන් අපි දික්වැල්ලව ගමුකෝ. අපි ඔහුට කිව්වා අංක හය ගහන්න බෑ. ඔහු හරියන්නේ අංක හතට කියලා. අංක හතේ ටේල් එකත් එක්ක ඔහුට ලකුණු එනවා. ගිල්ක‍්‍රිස්ට් ගැහුවේ අංක හතනේ, ඔහු ලකුණු ගැහුවයි කියලා අංක හතරට ගත්තද? නෑ. අන්න ඒකයි මෙහෙත් වෙන්න ඕනේ.”

“හතුරුසිංහ තමයි මෙච්චරකල් තේරීම් කළේ. කුසල් ජනිත්ට අඩුම ගානේ පුහුණුවීම්වලදී බැට් කරන්න දුන්නේ නෑ. එයා හැම වෙලාවෙම ඉන්නේ පීඩනයෙන්. ඒකම තමයි ක‍්‍රීඩකයන්ටත් දෙන්නේ. දැන් අපි චන්දිමාල්ව මාරැ කළා. පීඩනය අපිට ආවා. දිමුත් ගිහිල්ලා ගැහුවා. නායකයා වුණත් ගහන්නේ නැත්තන් මාරුකරන්න ඕනේ. දැන් ලෝකෙ ඉන්න හොඳ නායකයෝ ගන්නකෝ. විරාට් කෝලි තමයි ඉහළතම දස්කම් දක්වන්නේ. කේන් විලියම්සන්, ජෝ රෑට්, ඩුප්ලසි ඒ අය තමයි වැඩියෙන්ම දස්කම් අතර ඉන්නේ.”

“හතුරුසිංහ ක‍්‍රීඩකයන්ගේ හැම දේටම ඇඟිලි ගහනවා. පිතිකරුවන්ගේ ටෙක්නික්ස් හදනවා. එහෙම බෑ ක‍්‍රීඩකයන්ට නිදහස දෙන්න  ඕනේ. කුසල් මෙන්ඩිස් සීයක් ගහලා ආවත් ටෙක්නික්ස් හදනවා.”
පුහුණුකරු වෙනුවෙන් ක‍්‍රිකට් ගහන අය ජාතික කණ්ඩායමට අවශ්‍ය නොවේ. ජාතික කණ්ඩායමට අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාවට එසේ නැත්නම් රට වෙනුවෙන් ක‍්‍රිකට් ගහන අය පමණි. 

I විශේෂ ලියුම්කරුවකු විසිනි

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00