2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා

ශ්‍රී ලංකා පිලට අසීරු අභියෝගයක්

 2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 78

දකුණු අප‍්‍රිකාවට එරෙහිව ඩර්බන්හිදී පසුගිය බදාදා ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී ශ්‍රී ලංකා පිල අමාරුවේ වැටුණි. ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 191 කට සීමාවීමෙන් දකුණු අප‍්‍රිකාව ලකුණු 44 ක වාසියක් ලබාගත්තේය.

දෙවැනි දිනයේ ක‍්‍රීඩාව අවසන් කරන විට දකුණු අප‍්‍රිකානු පිල කඩුලු හයක් ඇතැතිව ලකුණු 170 ක් ඉදිරියෙන් සිටියේය.
ශ්‍රී ලංකා පිල දකුණු අප‍්‍රිකානු පළමු ඉනිම ලකුණු 235 කට සීමා කරමින් පළමු දිනය අවසන් වන විට හොඳ අභියෝගයක් යොමු කිරීමට සමත්ව සිටියේය. කෝඩුකාර ලසිත් ඇඹුල්දෙණිය සහ කසුන් රාජිත නවවැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 32 ක සම්බන්ධතාව නොවන්නට දකුණු අප‍්‍රිකානු පිලේ වාසිය මීට වඩා වැඩි වීමට ඉඩ තිබුණි.
කුසල් පෙරේරා පන්දු 63 කින් රැස්කළ ලකුණු 51 ද මෙහිදී අමතක කළ නොහැක. 

ශ්‍රී ලංකා පිල පළමු දිනය අවසන් වන විට කඩුල්ලක් දැවී ලකුණු 49 ක් රැස් කරමින් පළමු ඉනිමේදී ලකුණු 189 ක් පසු පසින් සිටියේය.

දකුණු අප‍්‍රිකානු පිතිකරුවන් ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් හමුවේ අසාර්ථක වීම කැපී පෙනුණි. එහිදී විශ්ව ප‍්‍රනාන්දු කඩුලු හතරක් ද, කසුන් රාජිත කඩුලු තුනක් ද, දවාගනිමින් පෙරමුණ ගත්හ.

මෙහිදී ශ්‍රී ලංකා තේරීම් කමිටුව පුදුමයට පත්කරවන තීන්දුවක් ගෙන තිබුණි. ජ්‍යෙෂ්ඨ ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා බංකුවේ තැබීමට පියවර ගෙන තිබුණි. කෞෂාල් බැංකුවේ තබා ශ්‍රී ලංකා පළමු පෙළ තරගාවලියේ ලකුණු දහසක් ගැසූ පමණින් ඕෂද ප‍්‍රනාන්දුට පිතිකරු ලැයිස්තුවේ අංක තුන ස්ථානය ලබාදී තිබුණි. කෞෂාල් යනු ශ‍්‍රී ලංකාවෙන් පිටතදී සාර්ථකම ආරම්භක පිතිකරුවෙකි. තේරීම් කමිටුව ඒවා නොදන්නවා විය හැකිය.

අසන්ත ද මෙල්ගේ සභාපතීත්වයෙන් යුත් නව තේරීම් කමිටුව පැමිණි වහාම කරළියට පැමිණි ළහිරු තිරිමාන්න නැවතත් අසාර්ථක වෙමින් ලකුණු නොලබා දැවී ගියේය.

මෙවර ශ්‍රී ලංකා පළමු පෙළ තරගාවලියේ ද්විත්ව ශතක 15 ක් සහ ශතක 114 ක් රැස්කිරීමට පිතිකරුවෝ සමත්ව සිටියහ. මෙය ශ්‍රී ලංකා පළමු පෙළ ක‍්‍රිකට් ඉතිහාසයේ එක තරග වාරයකදී වාර්තා වූ ඉහළතම ද්විත්ව ශතක සහ ශතක සංඛ්‍යාවයි. ඉන් කියවෙන්නේ ශ්‍රී ලංකා පළමු පෙළ ක‍්‍රිකට් පිටියේ පන්දු යවන්නන්ගේ ප‍්‍රමිතියේ තරමයි.

පළමු පෙළ තරගාවලියේ පන්දු යවන්නන් ඉහළ තත්ත්වයක සිටියේ නම් සතියකට ශතක 10 කට වැඩි සංඛ්‍යාවක් රැස් කිරීමේ අවස්ථාව නොලැබේ.

ඕස්ට්‍රේලියානු සංචාරයේදී සදීර සමරවික‍්‍රම බංකුවේ තබා ඔහුට දකුණු අප‍්‍රිකානු සංචාරයේ අවස්ථාව අහිමි කිරීම කොතරම් සාධාරණද? ඔහු ජාතික කණ්ඩායමේ සිටි කාලයේ පළමු පෙළ තරගාවලියට සහභාගි වූයේ නම් ඔහුට ද ලකුණු දහස සම්පූර්ණ කිරීමේ අවස්ථාව තිබුණි.

මෙම තරගයේදී ශ්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ 149 වැනි ක‍්‍රීඩකයා ලෙස වමතින් දඟ පන්දු යවන ලසිත් ඇඹුල්දෙණිය සහ 150 වැනි ක‍්‍රීඩකයා ලෙස දකුණත් පිතිකරු ඕෂද ප‍්‍රනාන්දු ටෙස්ට් වරම් හිමිකරගත්හ.

තරැණ ක‍්‍රීඩකයන්ට අවස්ථාව දීමේ කිසිදු වරදක් නැත. නමුත් එයට ක‍්‍රමවේදයක් තිබිය යුතුය. සනත් ජයසූරියගේ සභාපතීත්වයෙන් යුත් තේරීම් කමිටුව වසර දෙකක පමණ කාලයක් තුළ ක‍්‍රීඩකයන් බුරැතු පිටින් කණ්ඩායමට ගෙන ආවේය. අද වන විට ඔවුන් සොයා ගැනීමට හෝ නැත.

ක‍්‍රිකට් යනු දාම් හෝ චෙස් වැනි ක‍්‍රීඩාවක් නොවන බව තේරීම් කමිටුව මතකයේ තබාගත යුතුය. 

I සටහන: යොහාන් භාසුර

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00