2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා

මහා ක්‍රිකට් තරග පසුපසින් එන රට කළඹන වැඩ

 2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 79

ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් පිටියේ වාර්ෂික මංගල්‍ය ලෙස සැළකෙන වාර්ෂික මහා ක‍්‍රිකට් තරග කොළඹ තර්ස්ටන් විදුහල සහ ඉසිපතන විදුහල අතර මේ මස 22 වැනිදා කොළඹ එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වන තරගයෙන් කළඑළි බසී. මෙම මහා ක‍්‍රිකට් තරග මේ වනවිට තරගයකට වඩා තම පාසලේ බලය පෙන්වීමේ අවස්ථාවක් මෙන්ම ක‍්‍රීඩකයන් සහ ආදි සිසුන් විනෝද වීමේ අවස්ථාවක් බවට පත්කරගෙන තිබේ.

ඒ හේතුවෙන් ඇතැම් තරග පැවැත්වෙන අවස්ථා සාමාන්‍ය ජනතාවට මහ මඟ බැස නිදහසේ යෑමට නොහැකි වන තරමට පත්ව තිබේ. මෙම තත්ත්වය තුළ මහ ක‍්‍රිකට් තරග බරපතළ හානිවලින් අවසන් වන තත්ත්වයක් මේ වනවිට නිර්මාණය වී තිබේ. මහා ක‍්‍රිකට් තරග පැවැත්වෙන පෙරවාරි සිට අප්‍රේල් මස දක්වා කාලය තුළ පසුගිය වසර කීපයේම පාසල් සිසුන්ගේ සහ ආදි සිසුන්ගේ නොමනා ක‍්‍රියාකාරකම් අසන්නට ලැබුණි.

මෙම තත්ත්වය පාලනය කිරීමට විදුහල්පතිවරුන්ගේ සිට ආරක්‍ෂක අංශ දක්වා වගකීමක් තිබේ. ආරක්‍ෂක අංශ කොළඹ ප‍්‍රධාන පෙළේ පාසල්වලට වෙනත් නීතියකුත් කොළඹින් පිට පළාත්වල පාසල්වලට වෙනත් නීතියකුත් ක‍්‍රියාත්මක කිරීමෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවට මහජනතාව චෝදනා කරති.

මහා ක‍්‍රිකට් තරග කාලය තුළ මෑතකදී දැකගත හැකි නව දෙයක් ලෙස ‘සයිකල් පැරේඩ්’ හැඳින්විය හැකිය. මෙය පාලනයකින් යුතුව පවත්වන්නේ නම් එහි වරදක් නැත. කෙසේ වෙතත් මේ හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්වේ. ‘සයිකල් පැරේඩ්’ පසුගිය වසර කීපයේදී දියුණුවට පත්ව හෙලිකොප්ටර් කීපයක්ද සහභාගි වන තත්ත්වයට වර්ධනය වී තිබේ. කොළඹ ප‍්‍රධාන පාසල්වලට ඒ සඳහා හොඳ හැටි මුදල් තිබුණද තම පාසලේ ක‍්‍රිකට් කණ්ඩායමට උපකරණ නොමැති වුවද හොලිකොප්ටර් කිහිපයක් ගුවන්ගත කිරීමට ඇතැම් පිට පළාත් පාසල්ද කටයුතු කරන ආකාරය දැකගත හැකිය. 

බාලිකා පාසල්වලට සහ උපකාරක පන්තිවලට අනවසරයෙන් ඇතුළත් වී දැරියන්ට කරදර කිරීම සම්ප‍්‍රදායක් බවට පත්කරගෙන තිබේ. තවද මහජනතාවට පීඩා වන අයුරින් මුදල් එකතු කිරීමද සිදුවේ. මේවා පාලනය කිරීමට ආරක්‍ෂක අංශ පෙරමුණ ගත යුතුය.

I සටහන: වරකාගොඩ ගමගේ