2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා

ක්‍රිකට් නිලවරණය කොටඋඩ යයිද?

 2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 52

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන බ‍්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතව තිබුණද මෙම සටහන තබන මොහොත වනවිට නිලවරණය පැවැත්වේද නැද්ද යන්න පිළිබඳව නිශ්චිතව කිවනොහැකි තත්ත්වයකට පත්ව තිබුණි. නාමයෝජනා ඉදිරිපත් කර තිබෙන ‘සුමතිපාල’ සහ ‘රණතුංග’ යන පාර්ශව දෙක පසුගිය සතියේ මාධ්‍ය හමු පවත්වමින් එකිනෙකාට චෝදනා එල්ල කරමින් සිටියේය. ක‍්‍රීඩා අමාත්‍යංශයද විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එල්ල වන චෝදනාවලට පිළිතුරු දුන්නේය. 

‘සුමතිපාල’ පාර්ශවයේ සභාපති ධූර අපේක්‍ෂක මොහාන් ද සිල්වා සහ එම පාර්ශ්වයේ උප ලේකම් ධූර අපේක්‍ෂක රවීන් වික‍්‍රමරත්න යන මහත්වරුන්ගේ නාමයෝජනා ප‍්‍රතික්ෂේප වීමට එරෙහිව එම දෙපළ අභියාචනාධිකරණයේ නඩු ගොනුකිරීමට සූදානමින් සිටියහ. පසුගිය සිකුරාදා වනවිට මේ සම්බන්ධයෙන් නඩු කීපයක් අධිකරණයට ඉදිරිපත් වී තිබූ බව වාර්තා විය.

හිටපු ක‍්‍රීඩා අමාත්‍ය ජීවන් කුමාරණතුංග මහතා මොහාන් ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පැවැති ශ්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටුව 2005 වසරේ ගැසට් පත‍්‍රයක් මගින් විසුරැවා හැරීම මොහාන් සහ රවීන් යන මහත්වරුන්ගේ නාමයෝජනා ප‍්‍රතික්ෂේප කිරීමට හේතුව බවට පත්ව තිබේ. ක‍්‍රීඩා පනතේ 32 වැනි වගන්තියට අනුව විසුරුවා හැරියහොත් ඔවුන්ට නැවත තනතුරුවලට පැමිණිය නොහැකි බවට අභියාචනා කමිටුව තීරණය කර තිබුණි. 
මෙම තත්ත්වය පිළිබඳව මොහාන් ද සිල්වා මහතා ඇතුළු ‘සුමතිපාල’ පාර්ශ්ව ඒ පිළිබඳව මෙසේ අදහස් දැක්වීය.   
“අපි දන්නවා මේක ලොකු කුමන්ත‍්‍රණයක්. ඡන්දෙන් එන්න බැරි පිරිසක් හැමදාම පස්සෙ දොරෙන් එන්න උත්සාහ කරනවා. ඒ පුද්ගලයන් තමයි මේක පිටිපස්සේ ඉන්නේ.”

“ක‍්‍රීඩා පනතේ 32 වැනි වගන්තිය අනුව කටයුතු කරන පිළිවෙතක් තියෙනවා. එහෙම නොවුණොත් එන එන ක‍්‍රීඩා ඇමතිවරයාට ඉන්න කෙනාගේ මුහුණ හොඳ නැත්නම් අයින් කරන්න පුළුවන්නේ.”

“ජීවන් කුමාරතුංග ඇමැතිවරයාගේ එම තීරණයට එරෙහිව අපි අධිකරණයේ නඩු පැවරුවා. එහිදී අධිකරණය නියෝගයක් දුන්නා අපිට දැනුම්දීමක් නොකර විසුරුවා හැරීම වැරදියි කියලා. ඉන්පසුව 2006 වසරේ ඒ ඇමතිවරයා සිටියදීම නිලවරණයක් කැඳවුවා. ඒ නිසා තමයි අපි ඒ නඩුව ඉවත්කරගත්තේ.”

“අපේ රටේ ස්වාධීන අධිකරණය පිළිබඳව අපිට විශ්වාසයක් තියෙනවා. අධිකරණයේ තීරණ අපි පසුගිය කාලයේ දැක්කා. ඒ නිසා අපි අධිකරණයේ පිහිට පතනවා.”

මෙම 2005 විසුරුවා හැරීම සම්බන්ධයෙන් මොහාන් ද සිල්වා මහතා ඇතුළු පිරිස 2005 වසරේ අප්‍රේල් මස අභියාචනා අධිකරණයේ නඩුවක් පනවා ඇති අතර එම නඩුව ක‍්‍රියාත්මක වෙමින් තිබියදී 2006 වසරේ නැවත නිලවරණය කැඳවීම හේතුවෙන් නඩුව ඉල්ලා අස්කරගෙන තිබේ. කෙසේ වෙතත් එහිදී මොහාන් ද සිල්වා මහතා ඇතුළු පිරිස වැරදිකරැවන් හෝ නිවැරදිකරුවන් වී නොමැත. තවද මෙම විසුරැවා හැරීම පිළිබඳව ක‍්‍රීඩා පනතට අනුව නිසි පරීක්‍ෂණයක්ද කර නොමැත. 

“මීට පෙර ජාතික ක‍්‍රීඩා සංගමයක කමිටුවේ ධූරයක් දරා සිටියදී එම ජාතික ක‍්‍රීඩා සංගමය විසින් පත්කරන ලද නිසි බලය ලත් කමිටුවක් විසින් සිදුකරන ලද විධිමත් පරීක්‍ෂණයකින් පසුව අයුතු මූල්‍ය අපරාධයකට, අයථා ක‍්‍රියාවකට, දූෂිත ක‍්‍රියාවකට විනය කඩ කිරීමකට හෝ වෙනත් එවැනි වරදකට වරදකරුවකු කරනු ලැබ එම පරීක්‍ෂණ ප‍්‍රතිඵල අනුව ඔහු එම ධූරය දැරීමට නුසුදුස්සකු බවට පත්වූයේ නම්” ලෙස ක‍්‍රීඩා පනතේ 32 වැනි වගන්තියේ සඳහන්ව තිබේ. මෙම තත්ත්වය යටතේ අධිකරණයට මේ පිළිබඳව තීරණයක් ගැනීමට කාලයක් ගැනීමට සිදුවනවාට සැක නැත. 
ජයන්ත ධර්මදාස සහ නිශාන්ත රණතුංග යන මහත්වරු සභාපති සහ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී 2015 වසරේ ද ක‍්‍රිකට් විධායක කමිටුව විසුරුවා හැරී බවට ‘සුමතිපාල’ පාර්ශවය චෝදනා කරයි. එම චෝදනාවට ‘රණතුංග’ පාර්ශවය මෙසේ පිළිතුරු සපයයි.

“ක‍්‍රීඩා නීතියේ 32 වැනි වගන්තියට අනුව 2015 වසරේ මා සහ නිශාන්ත රණතුංග සිටි කමිටුව විසුරුවා හැරී බවට ප‍්‍රකාශ කරනවා. ඒක අසත්‍යයක්. එහිදී වුණේ අපේ නිල කාලය අවසන් වුණා. අපේ කමිටුව තහනම් කළේ නෑ. ඊට පසුව ක‍්‍රීඩා අමාත්‍යවරයා අතුරු කමිටුවක් පත්කළා. ඒ නිසා අපිට ඒකෙන් ප‍්‍රශ්නයක් නෑ.”

මෙම තත්ත්වය තුළ ක‍්‍රිකට් නිලවරණයේ අනාගතය දැඩි අවිනිශ්චිතය. නිලවරණය අවිනිශ්චිත වන තරමට ශ්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අනාගතයද අවිනිශ්චිත වේ. 

 විශේෂ ලියුම්කරුවකු විසිනි

 

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00