2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා

නවක වේගපන්දු යවන්නන්ගෙන් ඕස්ට්‍රේලියාවේදී දස්කම්

 2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 122

 

ඕස්ට්‍රේලියාවට එරෙහිව දැන් පැවැත්වෙන විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා විස්සයි20 සංචිතයට ප‍්‍රවේකාරී පිතිකරු තුන් ඉරියව් ක‍්‍රීඩක තිසර පෙරේරා අවසන් මොහොත දක්වා ඇතුළත්ව සිටියද පසුව ඉවත් කළ බව වාර්තා වේ. තිසර පෙරේරා පසුගිය මාස කීපයේදී විදේශ විස්සයි20 තරගාවලි කීපයකදී දස්කම් දැක්වීමට සමත්ව සිටියි. තිසර, ඕස්ට්‍රේලියාවේදී පැවැති ‘බිග් බෑෂ්’ සහ ඩුබායිහිදී පැවැති ‘පාකිස්තානු සුපර් ලීග්’ යන තරගාවලිවලදී කැපී පෙනුණේය.

තේරීම් කමිටුව ඒ පිළිබඳව අවධානය යොමුකර  ඕස්ට්‍රේලියානු සංචාරයට ඇතුළත් කිරීමට සූදානම් වුවද ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ තරගවලදී දස්කම් නොදැක්වීම මත තීරණය යළි වෙනස් කර තිබේ. බොහෝ දෙනකු පවසන්නේ එම සංචාරයට සහභාගි වී සිටින ඇතැම් ක‍්‍රීඩකයන් දෙස බැලීමේදී කිසිදු අපහසුවකින් තොරව තිසරට අවස්ථාව ලබාදිය හැකිව තිබූ බවයි. 

විස්සයි20 සංචිතයෙන් එළියෙන් තැබූ තුන් ඉරියව් ක‍්‍රීඩක ධනංජය ද සිල්වා, ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ නායකත්වයට පත්කිරීමට තේරීම් කමිටුව පසුගිය සතියේ පියවර ගෙන තිබුණි. පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව සිකුරාදා ආරම්භ වූ සිවුදින තරගයේදී ධනංජය ද සිල්වා නායකත්වයේ වගකීමට අත්පොත් තැබීය. 

‘ඒ’ කණ්ඩායමේ දිමුත් කරැණාරත්න වැනි තරමක් අත්දැකීම් ඇති ටෙස්ට් ක‍්‍රීඩකයන් සිටියදී ධනංජය නායකත්වයට පත්කිරීම තේරීම් කමිටුවේ අනාගත සැලැස්මක් විය හැකිය. මෙහිදී ‘ඒ’ පිලේ නායකත්වයට තරුණ ක‍්‍රීඩකයකු නම් කළ යුතු යැයි තේරීම් කමිටුව එකඟතාවයකට පැමිණි බවද දැනගන්නට ලැබුණි. 

දකුණු අප‍්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරගාවලියේදී සංචාරයකු බවට පත්වූ පිට දඟ පන්දු යවන ඩිල්රුවන් පෙරේරා පළමු සිවුදින තරගයට කැඳවීය. ඩිල්රුවන් ටෙස්ට් පිලේ නිත්‍ය සාමාජිකයකු වීම නිසා ඔහුට තරගයක් ලබාදීමේ අරමුණින් මෙම තරගයට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. ඕස්ට්‍රේලියානු තරගාවලියට සහභාගි වන උපුල් තරංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා විස්සයි20 පිල පසුගිය බදාදා  ඕස්ට්‍රේලියානු අගමැතිවරයාගේ පිලට එරෙහිව කැන්බරාහිදී පුහුණු තරගයට සහභාගි වී එයින් පහසුවෙන් ජයගත්තේය.

එම තරගයේදී ශ්‍රී ලංකා පිලේ අංක තුන දක්වා පිතිකරුවන් වූ නිරෝෂන් දික්වැල්ල, උපුල් තරංග සහ ඩිල්ෂාන් මුණවීර සාර්ථක වීම තරගාවලියට සුබ පෙරනිමිත්තක් බවට පත්විය. නවක වේගපන්දු යවන්නකු වන විකුම් සංජය කඩුලු තුනක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.  දෙරට අතර පළමු විස්සයි20 තරගය පසුගිය සිකුරාදා මෙල්බන්හිදී පැවැත්වීමට නියමිතව තිබූ අතර එම තරගයට ලසිත් මාලිංග ක‍්‍රීඩා කිරීමට බොහෝදුරට ඉඩ තිබුණි. දකුණු අප‍්‍රිකානු සංචාරයේදී ලැබූ පරාජයත් සමඟ ශ්‍රී ලංකා පිලේ උප නායකත්වයේ කටයුතු කළ දිනේෂ් චන්දිමාල්ට විස්සයි20 සංචිතයේද ස්ථානය අහිමිවිය. චන්දිමාල් මෙවැනි අවස්ථාවන්ට පත්වූ පළමු අවස්ථාව මෙය නොවන අතර ඔහු නැවතත් දස්කම් අතරට පැමිණෙනු ඇති බවට බොහෝ දෙනා විශ්වාසය පළ කරති. 

ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා දකුණු අප‍්‍රිකානු සංචාරයෙන් පසුව පවසා තිබුණේ තමන් දකුණු අප‍්‍රිකාවේදී දැක ඇති තණකොළ බහුලම තණතීරු දකින්නට ලැබුණේ මෙවර තරගාවලියේදී බවයි. ඒ හේතුවෙන් දකුණු අප‍්‍රිකානු වේග පන්දු යවන්නන්ට සාර්ථක වීමට පහසු වූ බවයි. දකුණු අප‍්‍රිකානු නායක ෆෆ් ඩූප්ලිසිස් පවසා තිබුණේ ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන්ගේ ග‍්‍රහණයෙන් ගැලවීමට තණකොළ වැඩි තණතීරු සැකසීමට පියවරගත් බවයි.  දකුණු අප‍්‍රිකානු සංචාරයේ විස්සයි20 තරගාවලියේදී පාදයේ ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා පිලේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් පසුගිය සතියේ නැවතත් පුහුණුවීම් ආරම්භ කළ බව වාර්තා වේ. මැතිව්ස් පළමුවෙන් පන්දුවට පහරදීමේ පුහුණු සැසිවලට පමණක් සහභාගි වන බව ජ්‍යෙෂ්ඨ පුහුණුකරුවෙක් පැවසීය.    

සටහන: වරකාගොඩ ගමගේ

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00