2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා

ලැබුණු පොරොන්දුවක් නිසා ජයසූරිය අස්වීම අස්කර ගනී

 2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 185

 

සනත් ජයසූරියගේ මහතාගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් තේරීම් කමිටුව, ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට යොමු කළ ඉල්ලා අස්වීමේ ලිපිය ඉවත්කර ගැනීමට පසුගිය සතියේ පියවර ගත්තේය. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපතිවරයාගෙන් සිය කමිටුවේ කටයුතුවලට බලපෑම් එල්ල වන බව පවසමින් සනත් ජයසූරිය මහතා ඉල්ලා අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දකුණු අප‍්‍රිකානු සංචාරය අවසන් වීමටත් පෙර යොමු කර තිබුණි.

සනත් ජයසූරිය මහතා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව මේ සම්බන්ධයෙන් ක‍්‍රිකට් තේරීම් කමිටු නිලධාරීන් සහ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලධාරීන් අතර සාකච්ඡා කීපයක් පැවැත්විණි. එම සාකච්ඡාවල ප‍්‍රතිඵලයක් ලෙස තේරීම් කමිටු සාමාජිකයන් ඉල්ලා අස්වීමේ තීරණය වෙනස් කළ බව වාර්තා වේ. 

දේශය මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී නම හෙළිකිරීමට අකමැති වූ නිලධාරියකු පැවසුවේ ඉදිරියේදී තේරීම් කමිටුවට කිසිදු බලපෑමක් නොකරන බවට ක‍්‍රිකට් ආයතනයේ නිලධාරීන්ගෙන් ලැබුණු පොරොන්දුව මත තේරීම් කමිටුව මෙම තීරණයට එළඹි බවයි. 

ජාතික කණ්ඩායම තෝරනවා වගේ වගකීමක් ඇති වැඩක් පිටස්තරයන්ගේ බලපෑම් තියෙනවා නම් කරන්න බෑ. ඒ නිසා තමයි තේරීම් කමිටුව ඉවත් වෙන්න තීරණය කළේ. තේරීම් කමිටුව එම තීරණයේ දැඩිව සිටියා. නමුත් ලැබුණු පොරොන්දුව මත කමිටුව නැවත වැඩ ආරම්භ කළා යැයි එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

අර්බුදය විසඳා ගැනීමෙන් පසුව තේරීම් කමිටුව පසුගිය සතියේ නැවත කටයුතු ආරම්භ කරමින් ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම නම් කළේය. ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස හිටපු ක‍්‍රීඩකයන් වන රොමේෂ් කළුවිතාරණ, රංජිත් මධුරසිංහ සහ එරික් උපශාන්ත යන මහත්වරු කටයුතු කරති.  

තේරීම් කමිටුවේ අර්බුදය විසඳීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ තවත් උසස් තනතුරු දරණ නිලධාරීන් කීපදෙනකුද මැදිහත් වූ බව වාර්තා වේ. ඊට අමතරව ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ද තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා සමඟ සාකච්ඡා කළ බව ද දැනගන්නට තිබේ. මෙම තත්ත්වය ඉහළ දේශපාලනඥයන් වෙත යොමු වී තිබූ බව ක‍්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. 

 ක‍්‍රීඩා වාර්තාකරු