2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා

දූෂණ චෝදනා ඔප්පු වූ කවුරුත් අපේ ටීම් එකේ නෑ - මොහාන් ද සිල්වා

 2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 81

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් රූපවාහිනී විකාශන අයිතියට ඉහළම වටිනාකම ලබාදීමට හැකිවූයේ තමන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ කාලයේ බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ඉදිරි නිලවරණයේ සභාපති ධූරය අපේක්‍ෂකයකු වන මොහාන් ද සිල්වා මහතා පවසයි. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පාලනය තමන් ඇතුළු කණ්ඩායම 2016 වසරේ බාරගන්නා විට රුපියල් බිලියන දෙකක පාඩුවක් ලබා තිබූ බවත් වසර දෙකක් තුළ බිලියන දෙකක් ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීමට හැකිවූ බවත් මොහාන් මහතා පැවසීය.

මොහාන් ද සිල්වා කොළඹ ආනන්ද විදුහල් පළමු පෙළ ක‍්‍රිකට් පිල 1967 සිට 1970 දක්වා නියෝජනය කළ අතර ඒ මහතා පාසල් ක‍්‍රීඩකයකුව සිටියදීම 1969 වසරේ ප‍්‍රබල සිංහල ක‍්‍රීඩා සමාජ (එස්.එස්.සී.) කණ්ඩායමේ ප‍්‍රබල ක‍්‍රීඩකයෙක් බවට පත්විය. 1989 වසරේ ක‍්‍රිකට් ක‍්‍රීඩක භූමිකාවට සමුදුන් ඔහු එතැන් සිට සිංහල ක‍්‍රීඩා සමාජයේ නොයෙකුත් තනතුරු දැරීය. ඒ මහතා 1994 වසරේ සිට සිංහල ක‍්‍රීඩා සමාජයේ ක‍්‍රිකට් කළමනාකරණ කමිටුවේ කටයුතු කරන අතර එහි ලේකම් ධූරයද දැරීය. මොහාන් ද සිල්වා මහතා වර්තමානයේ සිංහල ක‍්‍රීඩා සමාජයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකි. ඒ මහතා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ 2004/2005 කාලයේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය. සමාජ සේවයකුද වන ඒ මහතා ජාත්‍යන්තර සිංහ සමාජයේ ශ‍්‍රී ලංකාවම ආවරණය වන පරිදි බහු දිස්ත‍්‍රික් සිංහාධිපතිවරයා ලෙ ද කටයුතු කළේය. 

ඒ මහතා ‘දේශය’ සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මෙසේද අදහස් දැක්වීය.

නිලවරණයට ඉදිරිපත් වී සිටින ප‍්‍රතිවාදී කණ්ඩායම කියනවා ඔවුන් ඉදිරිපත් වී ඉන්නේ ක‍්‍රිකට් බේරාගැනීමට කියලා. ඒ කියන්නේ ඔබ ඇතුළු කණ්ඩායම ක‍්‍රිකට් විනාශ කළා කියන චෝදනාවක් නේද?

ප‍්‍රතිවාදී පාර්ශවයේ ඉන්නවා අපිත් සමඟ වැඩකරපු දෙනෙක්ම. ඒ ජයන්ත ධර්මදාස සහ මාතිවානන් අය මහත්වරුයි. අපි වැරැද්දක් කරලා තියනවා නම් ඒ අයත් වගකියන්න  ඕනේ. ඒක තමයි පළමු උත්තරය.  මේක චක‍්‍රයක්. හැම රටක්ම කාලයකට හොඳට කරනවා. නැවත පහළට බහිනවා. එංගලන්ත පිල ඉන්දීය කොදෙව් පිල හමුවේ 77ට දැවී ගියා. කොදෙව්වන් ශ්‍රේණිගත කිරීමේ කොහෙද ඉන්නේ.  ඕස්ටේ‍්‍රලියාව දැන් හැමෝගෙන්ම බැට කන්නේ. ඒ වගේම තමයි. කණගාටුයි කියන්න. ශ්‍රී ලංකාවත් දැන් පහළ තත්ත්වයට වැටිලා තියෙනවා. ඒ වගකීම මම බාරගන්නවා. 

ජයන්ත ධර්මදාස මහතාගේ චෝදනා මම කොහෙත්ම පිළිගන්නේ නෑ. අපි බාරගන්න විට බිලියන දෙකක ණයක් එක්ක ගත්තේ. තිලංග සුමතිපාල මහත්මයා අයි.සී.සී. එකත් එක්ක කතාකරලා වැඩි මුදලක් ලබාගෙන 2016 වන විට බිලියන දෙකක ශුද්ධ ලාභයක් පෙන්නන්න පුළුවන් වුණා. ඒ වගේම මාස තුනක් ඇතුළත නිදහස් කුසලානය පවත්වලා, ඉන්දියාව ගෙන්වලා බිලියනක ලාභයක් ගන්න පුළුවන් වුණා. ඉන්දියාව වගේ රටක් ගෙන්වා ගන්න හැකියාව ඔය කථාකරන එක්කෙනෙක්ට තියෙනවාද?

ඔබ ඇතුළු පිරිස කියන ඔය ලාභය බොරුවක් යැයි ප‍්‍රතිවාදීන් චෝදනා කරනවා?

ලාභාය බොරුවක් කියලා කියන්නෙ කොහොමද? මමත් විවාද කරන්න කැමතියි. බොරුයි කියලා කියන්නෙ කොහොමද? විගණන වාර්තා තියෙන්නේ.

චන්දික හතුරුසිංහ මහතා පුහුණුකරු ධූරයට ගෙන ඒමට ඔබත් මූලික වුණ කෙනෙක්. දැන් ඔහු සම්බන්ධයෙන් විවිධ දේ කියවෙනවා. ඔබටත් ඒ චෝදනාවෙන් ගැලවෙන්න පුළුවන්ද?

ඒ වෙලාවේ අපිට හොඳ පුහුණුකරුවෙක් හිටියේ නෑ. හතුරුසිංහ මහත්මයා තමයි ඒ වනවිට ලෝක ක‍්‍රිකට් පිටියේ හොඳම පුහුණුකරු හැටියට හිටියේ. ඔහුත් එක්ක සාකච්ඡා කළේ මතිවානන් මහත්මයයි. ඒ වගේ පුහුණුකරුවෙක් ගන්න විශාල මුදලක් ඕනේ. නැත්නම් ඒ අය අයි.පී.එල්, බී.පී.එල්. වගේ ඒවට යනවා.

මහේල ජයවර්ධන වගේ පුහුණුකරුවෙක් ගන්න ගියොත් අපිට කොච්චර ගෙවන්න වෙනවාද? ඒ හින්දා තමයි මේ වගේ මුදලක් ඔහුට දීලා ගත්තේ. ඒ වගේම ඔහු අපෙන් ඉල්ලා සිටියා කණ්ඩායම හදන්න යම් යම් බලතලත් ඔහුට අවශ්‍යයි කියලා. ඒක සාධාරණයි. අවාසනාවකට තරග පරදින නිසා මිනිස්සු දොස් කියනවා. අපි තරග ජයගත්තා නම් කවුරුත් ඔහුට ඇඟිල්ල දික්කරන්නේ නෑ. ඔහුට කිසිදෙයක් කරන්න බැරි වුණා. ක‍්‍රීඩකයෝ අබාධයන්ට ලක්වුණා. තරග පාවාදීම් චෝදනාවලින් ක‍්‍රීඩකයන්ගේ මනස විනාශ කළා. අපිට තාම විශ්වාසයක් තියෙනවා. මනස හදාගෙන ඉදිරියට යන්නයි අපිට තියෙන්නේ.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ හිටපු මූල්‍ය ප‍්‍රධානියා මේ වනවිට රිමාන්ඩ් බාරයේ පසු වෙනවා. එම පුද්ගලයා ඔබගේ පාලන කාලයේ සේවයට ගත් පුද්ගලයකු යැයි චෝදනාවක් තියෙනවා නේද?

මුලින්ම උත්සාහ කළේ ඔය ප‍්‍රශ්නයට අපිවත් ගාවගෙන යන්න. නමුත් පරීක්‍ෂණ කරගෙන යද්දි තේරුණා අපේ සම්බන්ධතාවක් නෑ කියලා. ඔය හිටපු මූල්‍ය ප‍්‍රධානියාට අපි ඉතාමත් ගෞරව කරනවා. මොකද ඒ මහත්මයා මුදල් නිවැරදිව කළමනාකරණය කිරීම නිසා මුදල් ඉතිරි කරගන්න පුළුවන් වුණේ. අපි ඇත්තටම ඔහුගේ වැරැද්දක් දකින්නේ නෑ. ඔහු වැරදිද නිවැරදිද කියලා උසාවිය තීරණය කරයි.

මේක වුණේ විසුරුවා හැරියට පසුවනේ. ඒ නිසා ඒකට වගකිවන්න ඕනේ එවකට නිසිබලධාරියා සහ ප‍්‍රධාන විධායකයි. අපි හොඳට පරිපාලනය කරපු නිසානේ බිලියන දෙකක ලාභයක් ලබන්න පුළුවන් වුණේ. සූරියවැව ක‍්‍රීඩාංගණය හදලා 2013 පඩි ගෙවාගන්නත් බැරිව තිබුණ තැනක් ක‍්‍රිකට් ආයතනය කියන්නේ. අපි එය ගොඩ දැම්මා. 

ඉදිරි නිලවරණය සම්බන්ධයෙන් ඔබ තුළ තිබෙන විශ්වාසය කොහොමද?

අපි ඉහළින්ම ජයග‍්‍රහණය කරනවා කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. ගොඩක් හොඳයි ප‍්‍රතිචාරය. ඔවුන් දන්වා අපි කරපු වැඩ. ඒ වගේම අපි කෙරෙහි විශ්වාසයක් තියෙනවා. 

අපේ කණ්ඩායමේ දූෂිත චෝදනා ඔප්පු වෙච්ච කිසිවෙක් නෑ. මම ඉතාමත් සතුටු වෙනවා ලසන්ත වික‍්‍රමසිංහ වැනි නිලධාරියෙක් භාණ්ඩාගාරික ධූරයට ඉදිරිපත් කිරීමට ලැබීම ගැන. ඔහු මූල්‍ය පරිහරණ සම්බන්ධයෙන් හොඳ අත්දැකීම් ඇති වරලත් ගණකාධිකාරීන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයා. ඔහු අපේ මූල්‍ය උපදේශන කමිටුවේ වසර තුනක් කටයුතු කළා. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ලෝලීන්ට ඔබ දෙන පණිවුඩය මොකක්ද?

කණ්ඩායම කඩා වැටීම ගැන ඇත්තටම අපි කණගාටුවෙනවා. නමුත් ජනතාවට කියන්න තියෙන්නේ ජනතාවගේ සහයෝගය අපිට අවශ්‍යයි. තියෙන තත්ත්වයෙන් ගොඩගන්න ක‍්‍රීඩකයන්ගේ සහ සාමාජිකයන්ගේ සහයෝගයත් ඕනේ. අනිවාර්යෙන්ම හොඳ අනාගතයක් කරා ගෙන යන මම වගකීම බාරගන්නවා. 

I සංවාද සටහන: යොහාන් භාසුර