2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා

ක්‍රිකට් සභාපති තනතුර : කෝප් කමිටුව ප්‍රශ්න කරයි

 2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 79

 

සභාපතිවරයාට මෙම ආයතනයේ කටයුතු කිරීමේදී යම් ප‍්‍රායෝගික ගැටලුවක් තිබේ නම් ඒ ගැන පරීක්‍ෂා කරන ලෙස කාරක සභාවේ ලේකම්වරියට ලිඛිතව දැනුම් දෙන ලෙස කාරක සභාවේ සභාපති විසින් දැනුම් දෙන ලදී.

පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් ‘කෝප් කමිටුව’ පසුගිය 8 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එම කමිටුවේ තෙවැනි වාර්තාවේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් තෙවැනි පොදු කරුණ ලෙස සඳහන් ඇත්තේ ඉහත කරුණය. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු 24 දෙනකුගෙන් යුත් කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා කටයුතු කරන අතර ඒ මහතා මෙම වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කළේය.    

එහිදී චෝදනා එල්ල වූ ආයතන 15 අතරින් ශ්‍රී ලංකාවේ වැඩිම මුදල් ප‍්‍රමාණයක් සංසරණය වන ක‍්‍රීඩා සංගම් දෙක වන ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට සහ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට චෝදනා එල්ල වී තිබිණි. මෙම වාර්තාවේ ක‍්‍රීඩා සංගම් දෙක සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති ඇතැම් කරැණු පැහැදිලි නොවන බවද කනගාටුවෙන් වුවද කිව යුතුය. තවද මෙම ක‍්‍රීඩා සංගම් දෙක පිළිබඳව ‘කෝප් කමිටුව’ උඩින් අතපත ගාමින් සකස් කළ වාර්තාවක් බවටද මෙය පෙනී යයි. මෙහි පාපන්දු සංගමය පිළිබඳ විමර්ශන කරැණු පිටු තුනකට අඩු ඉඩ සඳහන්ව තිබීම වඩාත් කනගාටුදායකය. 

මෙහිදී සභාපතිවරයා යැයි හඳුන්වා ඇත්තේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල විය යුතුය. තෙවැනි පොදු කරැණෙන් ප‍්‍රායෝගික ගැටලුවක් යැයි හැඟෙන්නේ නියෝජ්‍ය කථානායකවරයාට ක‍්‍රිකට් ආයතනයේ සභාපති ධූරය දැරිය හැකිදැයි සොයාබලන ලෙස කළ දැනුම්දීමක් විය හැකිය. සුමතිපාල මහතා සභාපති ධූරයට පත්වීමට පෙර විවිධ පාර්ශව මේ පිළිබඳව අවධානය යොමු කළද වගකිව යුත්තෝ එය ගණන් නොගත්හ. නිලවරණයට පෙර විවිධ පාර්ශවලින් විරෝධතාද යොමුකර තිබුණි.  

මෙහිදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට සූරියවැව ක‍්‍රීඩාංගණය, සූරියවැව ක‍්‍රීඩාංගණයෙ පිළිබඳ තක්සේරැ වාර්තාව, ක‍්‍රිකට් ආධාර අරමුදල (ක‍්‍රිකට් ඒඩ්), ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට උපදේශකයන් පත්කිරීම, නිල ඇඳුම් සඳහා අනුග‍්‍රාහකත්වය සහ ස්ථාවර වත්කම් ලේඛන ආදී ලෙස ශීර්ෂ 6 ක් යටතේ චෝදනා එල්ල වී තිබේ. 

සූරියවැව ක‍්‍රීඩාංගණය ඉදිකිරීමට වියදම් වූ මහා ධනස්කන්ද පිළිබඳව මෙහිදී ප‍්‍රශ්න කර ඇති අතර එය මීට පෙර ක‍්‍රිකට් පරිපාලනය යටතේ සිදුවූ ගනුදෙනුවකි. සූරියවැව ක‍්‍රීඩාංගණයේ රජයේ තක්සේරැව රැපියල් මිලියන 915 ක් වුවද එහි එහි ප‍්‍රාග්ධන වියදම බිලියන 5.4 ක් බවට වාර්තාව හෙළිකර තිබේ. 

සෙසු අක‍්‍රමිකතාවලින් බහුතරයක් තිලංග සුමතිපාල මහතාගේ වර්තමාන පාලන කාලයේ සිදුවූ යැයි කියන සිද්ධීන් වී හේතුවෙන් ඒවා බැහැර කළ නොහැක. ක‍්‍රිකට් ආයතනයේ පත්කර ඇති උපදේශකයන් පත්කිරීම සම්බන්ධයෙන් තෝරාගත් පදනම, සුදුසුකම්, දීමනාව, රාජකාරී සහ වගකීම් ආදි කරුණු ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නිර්දේශ කර තිබේ. ක‍්‍රිකට් ආයතනයේ වර්තමාන පරිපාලනය තුළ උපදේශකයන් පමණක් නොව සියලුම බඳවා ගැනීම් සහ දීමනා ලබන පුද්ගලයන් පිළිබඳව සොයා බැලුවේ නම් උත්තරීතර පාර්ලිමේන්තුවේ වගකීම ඉටු කළා යැයි සතුටු වීමට අවස්ථාව තිබුණි. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිල ඇඳුම් සඳහා 2015 වසරේ පෙබරවාරි මස 12 වැනිදා වන විට රුපියල් මිලියන 5.7 ක මුදලක් ගෙවා තිබීම පිළිබඳව කෝප් කමිටුව වාර්තාවක් ඉල්ලා තිබේ. 

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු පරිපාලනයට විවිධ ආයතනවලින් ලැබූ මුදල් භාවිතයේදී සිදුවූ අක‍්‍රමිකතා, සමරු කලාපයක් පළ කිරීම, අභ්‍යන්තර විගණන අංශයක් නොමැති වීම සහ නීති විරෝධී පත්වීම් යන කරුණු 4 පිළිබඳව කෝප් කමිටුවේ අවධානයට ලක්ව තිබේ. පාපන්දු සංගමයේ විමර්ශනය අවසානයේ පොදු කරුණ යටතේ ආයතනයේ මූල්‍යමය තත්ත්වය පිළිබඳව බරපතල ලෙස සැළකිලිමත් වීම ලෙස සඳහන්ව තිබේ. 

කෝප් වාර්තාවෙන් මෙම ආයතන දෙකටම ශීර්ෂයෙන් ශීර්ෂයට නිර්දේශ ඉදිරිපත් කර ඇති අතර එම නිර්දේශ ක‍්‍රියාත්මක කරන්නේ ද යන්න පිළිබඳව ‘කෝප් කමිටුව’ විමර්ශනය කරන්නේදැයි ජනතාව ප‍්‍රශ්න කරති.  

 සටහන: යොහාන් භාසුර

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00