2019 ජනවාරි 26 වන සෙනසුරාදා

ක්‍රිකට් නිලවරණයේ බිල්ලා “ගුල්ලා” වෙයි

 2019 ජනවාරි 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 74

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය කල්දැමීම පිළිබඳව ඇතැම් පාර්ශ්ව නිර්මාණය කර තිබූ ‘බිල්ලා’ පසුගිය සතියේ පුස්සක් බවට පත්විය. ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පසුගිය සතිය මුලදී ඩුබායිහිදී අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ ප‍්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන් මහතා සමඟ සාකච්ඡා කර ප‍්‍රශ්නය විසඳා ගත්තේය. නිලවරණය පෙබරවාරි මස 21 වැනිදා පවත්වෙන්නේ නම් එහි ප‍්‍රශ්නයක් නොමැති බවට ඩේවිඩ් රිචඩ්සන් මහතා පවසා ඇතැයි දැනගන්නට තිබේ. 

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා පසුගියදා මෙවැනි ප‍්‍රකාශයක් කර තිබුණි.

“නිලවරණය දිනක් හෝ කල්දැමීමට නොදෙන බව ජාත්‍යන්තර ක‍්‍රිකට් සභාව පවසා තිබෙනවා. එය කල්තැබුවහොත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් සාමාජිකත්වය ජාත්‍යන්තර ක‍්‍රිකට් සභාව අත්හිටුවන බවත් පවසා තිබෙනවා. නිලවරණය කල්යාම නිසා මේ වනවිටත් ජාත්‍යන්තර ක‍්‍රිකට් සභාව අපට ලැබිය යුතු අමෙරිකන් ඩොලර් මිලියන 8ක මුදලක් රඳවාගෙන තියෙනවා. අපි ඡන්දයකින් තෝරාගත් කමිටුවක් පෙබරවාරි 14 වැනිදාට පෙර ජාත්‍යන්තර ක‍්‍රිකට් සභාවට යැව්වේ නැත්නම් අපේ සාමාජිකත්වය අත්හිටුවනවා. යළිත් සාමාජිකත්වය ලබාගන්න වෙන්නේ 2020 ජූලි මාසයෙන් පසුව” යැයි සුමතිපාල මහතා පවසා තිබුණි. 

ක‍්‍රීඩා අමාත්‍යංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා මෙසේ අදහස් දැක්වීය

“අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව නිලවරණ පවත්වන්න දින දෙන්නේ නෑ. අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ මීළඟ රැස්වීම පැවැත්වෙන්නේ පෙබරවාරි 28 වැනිදායි. ඒ නිසා තමයි අපිට පෙබරවාරි 9 වැනිදාට පෙර පවත්වන ලෙස දිනයක් දුන්නේ. නිලවරණයෙන් පත්වන කමිටුව එදිනට පෙර දැනුම්දෙන්න ඕනේ.”

මෙම ප‍්‍රකාශ දෙස බැලීමේදී නිලවරණය කල්දැමීම සම්බන්ධයෙන් බිල්ලෙක් නිර්මාණය කර තිබූ බව පැහැදිලිය. බිල්ලෙක් මවා හෝ නිලවරණය පැවැත්වීමට හේතුව ඇතැමුන්ට ක‍්‍රිකට් මූලස්ථානයට රිංගා සිටීමේ රෝගය මිස අන් කිසිවක් නොවේ. ක‍්‍රිකට් නිලවරණය සම්බන්ධයෙන් අභියාචනා විභාග කිරීමට ක‍්‍රීඩා අමාත්‍යවරයා පත්කළ කමිටුවට අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලය පසුගිය සතිය අවසානයේ නිමාවීමට නියමිතව තිබුණි. නිලවරණයට ඉදිරිපත්ව සිටින ප‍්‍රධාන පාර්ශ්වයකට එරෙහිව මෙහිදී ප‍්‍රබල විරෝධතාවක් ඉදිරිපත් කිරීමේ සූදානමක් පැවතුණි. එය 2015 වසරේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටුව විසුරුවා හැරීමට සම්බන්ධ බව ක‍්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේය. 

සභාපති ධූරය සඳහා ඉදිරිපත්ව සිටින නමගිය නිලධාරියකුට එරෙහිව විරෝධතා තුනක් අභියාචනා කමිටුවට ඉදිරිපත්ව තිබූ බව පසුගිය සතියේ වාර්තා විය. එහිදී අදාළ නිලධාරියා පළමු පෙළ ක‍්‍රිකට් ක‍්‍රීඩා කර නොමැති බවට විරෝධතා දෙකක් සභාපති අපේක්‍ෂයන් දෙදෙනකු විසින් විරෝධතා ඉදිරිපත් කරන ලද බව කියැවේ. ඊට අමතරව ඔහුගේ ව්‍යාපාරික සිද්ධියකින් අධිකරණයෙන් ලැබුණු දඬුවමක් සම්බන්ධවද විරෝධතාවක් ගොනු වී ඇති බව වාර්තා වේ. මෙම අභියාචනා විභාගයෙන් ලැබෙන තීන්දුව මත ශ්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණයේ ඉරණම තීරණය වන බව ක‍්‍රිකට් පරිපාලන ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයෝ පවසති. 

I විශේෂ ලියුම්කරුවකු විසිනි

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00