2019 ජනවාරි 19 වන සෙනසුරාදා

නිලවරණය - ජයන්ත ධර්මදාස සභාපති තරගයට

 2019 ජනවාරි 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 54

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණයට ඉදිරිපත්ව සිටින රණතුංග පාර්ශවයේ සභාපති ධූර අපේක්‍ෂකයා ලෙස ජයන්ත ධර්මදාස පසුගිය බ‍්‍රහස්පතින්දා නිල වශයෙන් පෙනී සිටියේය. රණතුංග පාර්ශවයෙන් සභාපති ධූරයට ඉදිරිපත්වීමට නියමිතව සිටි කේ. මතිවානන් මහතා උප සභාපති ධූරයට තරග කරයි.

‘රණතුංග පාර්ශවය’ සහ ජයන්ත ධර්මදාස මහතා සන්ධාගත වීම හරහා පොදු සතුරා පරාජය කිරීම මූලික අරමුණ බවට පත්ව තිබේ. ජයන්ත ධර්මදාස මහතාට ක‍්‍රිකට් නිලවරණයට තරග කිරීමට නිලවරණ කමිටුව අවසර දීම පිළිබඳව ගැටලු මතු වී තිබේ. මොහාන් ද සිල්වා පාර්ශවය එම තීරණයට එරෙහිව ක‍්‍රීඩා අමාත්‍යවරයාට අභියාචනයක් යොමු කිරීමටද නියමිතය. එම අභියාචනාව පිළිබඳව මොහාන් ද සිල්වා මහතා පැවසුවේ අභියාචනයක් ඉදිරිපත් කර එහිදී ජයන්ත ධර්මදාස මහතාට අවස්ථාව හිමිවුවහොත් එම තීරණයට ගරු කරන බවයි. 

ක‍්‍රීඩා අමාත්‍යංශය පසුගිය බ‍්‍රහස්පතින්දා පෙරෙවරැවේ ක‍්‍රිකට් නිලවරණය දින 14 කින් කල්දැමීමටද පියවර ගත් අතර ඒ අනුව නිලවරණය පෙබරවාරි මස 21 වැනිදා පැවැත්වීමට නියමිතය. මොහාන් ද සිල්වා පාර්ශ්වය පසුගිය බ‍්‍රහස්පතින්දා පැවැත්වූ මාධ්‍ය හමුවේදී නිලවරණය කල්දැමීම දැඩි විවේචනයට ලක්කළේය. 

"ක‍්‍රිකට් නිලවරණය කල්දාලා තියෙනවා. තරග කරන අපිවත්, නිලවරණ කමිටුවවත් දන්නේ නෑ. අයි.සී.සී.එක පෙබරවාරි 9 වැනිදා දක්වා පමණයි කාලය දීලා තියෙන්නේ. ඒකෙන් ලොකු ප‍්‍රශ්නයකට මුහුණ දෙන්න වෙන්න පුළුවන්. එහි වගකීම ක‍්‍රීඩා ඇමතිතුමා බාරගත යුතුයි" යැයි මොහාන් ද සිල්වා මහතා පැවසීය.

ජයන්ත ධර්මදාස මහතා මාධ්‍ය හමුවේදී පැවසුවේ නිලවරණ කමිටුව තමන්ව සභාපති පුටුවේ වාඩිකර නොමැති බවයි.  
"මම නීති කඩලා නිලවරණයට එන්නේ නෑ. මට තිබුණා අවුරුදු 40 කට පෙර ක‍්‍රිකට් ගැහුවා කියලා සහතික ඉදිරිපත් කරන්න. මම එහෙම කළේ නෑ. මම අධ්‍යක්‍ෂවරයකු ලෙස අවුරුදු පහක් අයි.සී.සී. එකට ගියා. අයි.සී.සී. එකේ අධ්‍යක්‍ෂකලා කවුරුත් ක‍්‍රිකට් ගහලා නෑ. ඒකට අයි.සී.සී. එකේ ක‍්‍රිකට් කමිටුවක් තියෙනවා. මාව සභාපති පුටුවෙ වාඩි කරලා නෑ. ඡන්දය දිනලා සභාපති වෙන්න ඕනේ."

තවද දකුණු පළාත් ක‍්‍රිකට් සංගමයේ පරිපාලනයට සය පුද්ගල කමිටුවත් පත්කිරීමට ක‍්‍රීඩා අමාත්‍යවරයා පසුගිය සතියේ පියවර ගත්තේය. එම සංගමයේ නිලවරණය පැවැත්වීම අත්හිටුවමින් අධිකරණ තහනමක් පනවා තිබියදී හිටපු නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමද ගැටලුසහගතය. එම නිලධාරීන්ට ඡන්ද බලය හිමිවන්නේද නැද්ද යන්න පිළිබඳව මේ දක්වා අවසන් තීරණයකට එළඹ නැත. 

මෙම සිද්ධීන් දෙස ලැබීමේදී තත්ත්වය බරපතල විය හැකිය. එසේ වුවහොත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවටද අසාධ්‍ය විය හැකිය. ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා නිලවරණය සඳහා කල් ඉල්ලීමට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ නිලධාරීන් හමුවීමට උත්සාහ කළද එය අසාර්ථක විය. ඒ අනුව අයි.සී.සී.ය පෙබරවාරි 9 වැනිදා හෝ ඊට පෙර නිලවරණය බලාපොරොත්තු වෙයි. 

I විශේෂ ලියුම්කරුවකු විසිනි

 

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00