2019 ජනවාරි 12 වන සෙනසුරාදා

ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරුනුත් ’’ක්‍රිකට් ගහන්න’’ පටන් අරන්!

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 111

"ක‍්‍රීඩා ඇමති පත්වීම් අරගෙන ගෙදරට ගොඩවෙන කොට චීත්තයක් ඇඳ ගනිපු හෙන පොරක් කියලා හිතන් ඉන්න ක‍්‍රීඩකයෙක් තමන්ගේ තැන රැකගන්න ගෙදරට ඇවිත්... ලැජ්ජයිනේ."

ඉහත අපහාසාත්මක වැකිය ලසිත් මාලිංගගේ බිරිඳ වන ටන්යා පෙරේරාගේ යැයි කියන ෆේස්බුක් පිටුවේ පසුගිය සතියේ පළවීමත් සමඟ කණ්ඩායමේ ක‍්‍රීඩකයන් අතර ගැටුම් කරළියට පැමිණියේය. එසේම ක‍්‍රීඩකයන්ගේ බිරින්දෑවරුන් කණ්ඩායමේ කටයුතුවලට අත පොවන ආකාරයද මෙමගින් ප‍්‍රදර්ශනය විය. 

තිසර පෙරේරාගේ බිරිඳ වන ෂෙරමි දිනූෂිකා පෙරේරාගේ යැයි කියන ෆේස්බුක් පිටුවේද ඉහත වැකියට පිළිතුරු ලෙස පහත වැකිය පළකර තිබුණි.

"නරියෙක් සිංහ හමක් පොරවගත්තට කවදාවත් සිංහයෙක් වෙන්නේ නැහැ. නරියා කට ඇරියම නරියම තමයි"
ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ කටයුතුවලට ප‍්‍රබල ක‍්‍රීඩකයන්ගේ බිරින්දෑවරුන් අත පෙවූ පළමු අවස්ථාව මෙය නම් නොවේ. 2000 දශකයේ මුලසිටම හිටපු සහ වර්තමාන ක‍්‍රීඩකයන්ගේ බිරින්දෑවරුන් ජාතික කණ්ඩායමේ කටයුතුවලට මැදිහත් වන බව ප‍්‍රසිද්ධ රහසකි. ක‍්‍රීඩකයන් විදේශ සංචාරවලට සහභාගි වන විට බොහෝ ක‍්‍රීඩකයන්ගේ බිරින්දෑවරුන්ද එම සංචාරයට එක්වන අතර පවුල් පිටින් ක‍්‍රීඩකයාගේ හෝටල් කාමරයේ නවාතැන් ගෙන සිටින ආකාරයද අප දැක තිබේ. විදේශ සංචාරවලදී බොහෝ ක‍්‍රීඩකයන්ගේ අතේ බිරිඳද එල්ලී සිටීම ගුවන් තොටුපළවල සුලභ දසුනකි. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මීට පෙර ක‍්‍රීඩකයාගේ පවුලේ සාමාජිකයන්ට වසරකට එක විදේශ සංචාරයකට සහභාගි වීම සඳහා ගුවන් ප‍්‍රවේශපත්ද පිරිනැමූ අතර පසුව එය අත්හිටුවීය. මෙම සංචාර සඳහා පිටත්ව යෑමේදී සහ තරග නැරඹීම වැනි අවස්ථාවලදී ඒකරාශී වීමෙන් ක‍්‍රීඩකයන්ගේ බිරින්දෑවරුන්ගේ කල්ලි නිර්මාණය වන අතර පසුව එම කල්ලි කණ්ඩායම තේරීම දක්වා බලපෑම් කරන බව දැනගන්නට තිබේ. ජාතික කණ්ඩායමේ බලයක් ඇති ක‍්‍රීඩකයාගේ බිරිඳ තම ස්වාමි පුරුෂයා ලවා මිතුරියගේ ස්වාමි පුරුෂයා කණ්ඩායමට ඇතුළත් කිරීම පසුගිය කාලයේ සුලබ වූ බව ජාතික කණ්ඩායමේ ආරංචි මාර්ග සඳහන් කරයි. 

ශ්‍රී ලංකා පිලේ හිටපු ප‍්‍රබල ක‍්‍රීඩකයකුගේ බිරිඳ දරුවන් ලැබුණු පසු දරුවන් බලාගැනීමට කණ්ඩායමේ ක‍්‍රීඩකයකුගේ බිරිඳක් ඉදිරිපත් වූ බවත් එතැන් සිට අදාළ ක‍්‍රීඩකයා එක්දින පිලට ඇතුළත් වූ බව එවකට කථාබහට ලක්විය. වර්තමානයේ කණ්ඩායමට ඉඳහිට ඇතුළත් වන ක‍්‍රීඩකයකු පසුගිය වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති ආසියානු ක‍්‍රිකට් තරගාවලියට ආදේශක ක‍්‍රීඩකයෙක් ලෙස සහභාගි විය. එම ක‍්‍රීඩකයා ඩුබායිවලට ඒමටත් පෙර ක‍්‍රීඩකයකුගේ බිරිඳක් ඔහු සමඟ කථා නොකරන ලෙස ක‍්‍රීඩකයන් රැසකට උපදෙස් දී තිබූ බව වාර්තා වේ. අදාළ බිරිඳ එම ක‍්‍රීඩකයාගේ හිටපු බිරිඳට නඩු කටයුතුවලට ද මුදල් වියදම් කරන බව දැනගන්නට තිබේ. ශ්‍රී ලංකා පිලේ හිටපු ක‍්‍රීඩකයකුගේ හිටපු බිරිඳ සමඟ තවත් ක‍්‍රීඩකයකු මේ වනවිට හොර රහසේ පවුල් කන බව ප‍්‍රසිද්ධ රහසකි.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ ක‍්‍රීඩකයන්ගේ බිරින්දෑවරුන් සම්බන්ධ සිද්ධීන් ඕනවාටත් වඩා තිබේ. මේවා කාන්තාවන් කෙස් වලූ පටලවා ගැනීමෙන් පමණක් කෙළවර නොවේ. මෙහි බලපෑම අනිවාර්යයෙන්ම කණ්ඩායමේ සමගියට එසේ නැතිනම් කණ්ඩායම් හැඟීමට බලපෑම් කරයි. මෙම සිද්ධියේදී තිසර පෙරේරාගේ යැයි කියන ෆේස්බුක් පිටුවේ පළකර තිබූ පිළිතුරු මාලිංග සහ තිසර ඇති විරසකය ප‍්‍රදර්ශනය කරයි.

"ගොසිප් සයිට්, ෆේස්බුක් හරහා මා හට මඩ ප‍්‍රචාරණය කිරීමට වෙර දරන අඹුසැමි යුවලහට මා සමඟ පෞද්ගලික අමනාපකම් ඇතිනම් රැකියාවට එය සම්බන්ධ කර නොගන්නා මෙන් ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මම යනු මම වන බවත් තැන ආරක්‍ෂා කිරීමට මට කිසිවෙකු පසු පස හඹායාමට අවශ්‍ය නොවන බවත් පහළ ඇති මාගේ 2018 දක්‍ෂතා පුවරැව එය මැනවින් පිළිබිඹු වන බවත් මෙයින් දන්වා සිටිමි. එමෙන්ම අපහාස කිරීමට එල්ල කරන චෝදනා සාක්‍ෂි සහිතව ඉදිරිපත් කරන ලෙසටත් අවනතව ඉල්ලා සිටිමි. එසේම බිරින්දෑවරුන් තමන්ගේ කාර්යභාර්ය පමණක් කරගෙන සිටීනම් එය අපට වඩාත් පහසු වන බවත් කාරුණිකව දන්වා සිටිමි " යැයි තිසර පිළිතුරු සපයා තිබුණි.

කණ්ඩායමේ නායකත්වයට කිසිවකු පත්කිරීමේදී ඔහු සෙසු පුද්ගලයන් සමඟ කටයුතු කිරීමේදී දක්වන සහයෝගීතාවය පිළිබඳව තේරීම් කමිටුව අවධානය යොමු කළ යුතුය. ලසිත් මාලිංගට එවැනි සහයෝගීතාවක් පැවැත්වීමට හැකියාවක් ඇත්දැයි මෙහිදී අවධානය යොමු කළ යුතුය. මාලිංග සමඟ බොහෝ ක‍්‍රීඩකයන් එතරම් හොඳ සහයෝගීතාවක් නොමැති බව වාර්තා වන අතර එසේ වුවහොත් එම ක‍්‍රීඩකයන් ඔහුට සත්භාවයෙන් සහයෝගය දෙන්නේද යන්න සැකසහිතය. මාලිංග යනු ක‍්‍රීඩා අමාත්‍යවරුන්, ක‍්‍රිකට් ආයතනයේ සභාපතිවරයන් මෙන්ම මාධ්‍යවේදීන් සමඟද ගැටුම් ඇතිකරගත් ක‍්‍රීඩකයෙකි. ඔහුට නායකත්වය පැවරීමට පෙර තේරීම් කමිටුව දෙවරක් සිතීම කළ යුතුව තිබුණි.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මේ වනවිටත් කණ්ඩායමේ සියලු ක‍්‍රීඩකයන්ට මෙවැනි දේවල්වලට අවධානය යොමු නොකර ක‍්‍රීඩාව කෙරෙහි අවධානය යොමුකරන ලෙස උපදෙස් දී තිබේ.

විශේෂ ලියුම්කරුවකු විසිනි

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00