2019 ජුනි 08 වන සෙනසුරාදා

පෙරළිකාර දිනුම් - පැරදුම් ලෝක කුසලානය හොල්ලයි

 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 117

එංගලන්තයේදී දැන් පැවැත්වෙන දොළොස්වැනි ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ තරග 45ක් ඇතුළත් පළමු වටයේ තරග අටක් පමණක් අවසන් වෙද්දී මෙවරද ලෝක කුසලාන තරගාවලිය උණුසුම් වන බවට ඉඟි පළවී තිබේ.

දකුණු අප‍්‍රිකානු පිලට මෙවර ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට පෙර ඉහළ ස්ථානයක් වෙන්කර තිබුණි. කෙසේ වෙතත් දකුණු අප‍්‍රිකානු පිල සහභාගි වූ පළමු තරග තුනම එංගලන්තය, බංග්ලදේශය සහ ඉන්දියාව හමුවේ පරාජයට පත්වීමෙන් ඔවුන් දැඩිලෙස අවිනිශ්චිත තත්ත්වයකට පත්වූහ. දකුණු අප‍්‍රිකානු පිල බංග්ලාදේශය හමුවේ ලැබූ අනපේක්‍ෂිත පරාජය මෙවර තරගාවලියේ මේ දක්වා වඩාත් කැපී පෙනුණු තරගය බවට පත්විය. එහිදී පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ පිල ලකුණු 330 ක් රුස්කිරීමෙන් දකුණු අප‍්‍රිකාව අමාරුවේ වැටුණි.

දකුණු අප‍්‍රිකානු පිල ආරම්භයේ සිට හොඳ සැලැස්මකට අනුව ඉලක්කයට ආසන්න වීමට උත්සාහ කළ අතර නායක ෆෆ් ඩූ ප්ලීසිස් ඉදිරියට පැන පන්දුවට පහර දෙනවා වෙනුවට සීමාවේ සිට පන්දුවට පහර දීම තෝරාගත්තේ නම් තරගයේ ප‍්‍රතිඵලය වෙනස් කිරීමට අවස්ථාව තිබුණි. වසර කිහිපයක සිට ප‍්‍රබල කණ්ඩායම්වලට අභියෝගයක් බවට පත්ව සිටින බංග්ලාදේශ පිල පළමු තරගයේදීම හිස එසවීම සෙසු රටවල්වලට එතරම් සුබදායක නොවීමට ඉඩ තිබේ. බංග්ලාදේශ පිල පසුගිය වසර කීපයක තුළ ලැබූ බොහෝ ජයග‍්‍රහණ පිටු පස කඩුලු රකින ක‍්‍රීඩක මුෂ්ෆිකුර් රහීම් සහ ශකීබ් අල් හසන් සිටියහ. මෙම තරගයේදී ද රහීම් (76) සහ ශකීබ් (75) අර්ධ ශතක රැස්කළහ. කෙසේ වුවද නවසීලන්තය සමඟ තරගයේදී බංග්ලාදේශය පරාජය විය.

සත්කාරක එංගලන්ත පිල මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනාගනු ඇතැයි බොහෝ මත පළවී තිබූ අතර එංගලන්ත කණ්ඩායම දෙස බැලීමේදී එම මතවල වැරැද්දක් දැකිය නොහැක. කෙසේ වෙතත් එංගලන්ත පිල දෙවැනි තරගයේදී පාකිස්තානය හමුවේ ලැබූ පරාජයෙන් තරගාවලිය තවත් උණුසුම් විය. එංගලන්ත පිල එහිදී ලකුණු 349 ක ඉලක්කය ආසන්න පෙනෙන මානයට පැමිණියේය. එම තරගයේදීද පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානු පිල ලකුණු 348 ක් රැස්කිරීමෙන් එංගලන්තය පසුපසට තල්ලුවිය.

ලෝක එක්දින ශ්‍රේණිගත කිරීමේ නවවැනි ස්ථානයේ සිටි බටහිර ඉන්දීය කොදෙව් පිල ශ්‍රේණිගත කිරීමේ හයවැනි ස්ථානයේ සිටින පාකිස්තානය පරාජය කරමින් දැඩි අවධානයට පත්විය. බටහිර ඉන්දීය කොදෙව් පිල මෙම ජයග‍්‍රහණයත් සමඟ පෙරළිකාර කණ්ඩායම බවට පත්ව සිටියේය. එහිදී කොදෙව් වේගපන්දු යවන්නන් වන ඔෂේන් තෝමස්, ජේසන් හෝල්ඩර් සහ ඇන්ද්‍රි රසල් පාකිස්තානු ඉනිම ලකුණු 105 කට සීමා කළහ. ඒ අනුව කොදෙව් පිල ලකුණු 106 ක පහසු ඉලක්කය කඩුලු තුනක් දැවී සම්පූර්ණ කළේය.

මෙහිදී කැපී පෙනෙන තත්ත්වය බවට පත්වූයේ කොදෙව් පිල පන්දු යැවීමේ අංශයෙන් පාකිස්තානු පිල පාලනය කිරීමයි. ක‍්‍රිස් ගේල් ඇතුළු පිතිකරුවන්ට එම ඉනිමේදී කළයුතු දෙයක් නොතිබූ අතර ඔවුහු නිදහසේ පන්දුවට පහර දුන්හ. ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ තවත් තරග 37 ක් ඉතිරිව තිබේ. එම තරගවලදී මීට වඩා පෙරළි බලාපොරොත්තු විය හැකිය.

 භාසුර

 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30