2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා

හතුරුසිංහ තාම මැනේජර්!

 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 170

"පුහුණුකරුවාගේ ප‍්‍රශ්නයත් තියෙනවා. මා ඔහුවත් හමුවුණා. සාකච්ඡා කළා. මා විශ්වාස කරනවා මේ ප‍්‍රශ්නය නිරාකරණය කරගන්න පුළුවන් කියා. අපි අතර ප‍්‍රශ්න තියෙනවා. ඒත් ශ්‍රී ලාංකිකයන් වශයෙන් ජාතික වැදගත්කමක් ඇති දෙයකදී අපි ප‍්‍රශ්න අමතක කරලා එකතු වෙනවා" යැයි ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා චන්දික හතුරුසිංහ මහතා සම්බන්ධයෙන් උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳව  ඕස්ටේ‍්‍රලියාවේදී එසේ පවසා තිබුණි.

කෙසේ වෙතත් එළඹෙන දකුණු අප‍්‍රිකානු සංචාරයට හතුරුසිංහ මහතා ඕස්ට්‍රේලියාවේ සිට මේ වනවිට පිටත්ව ගොස් තිබේ. තාවකාලික පිතිකරු පුහුණුකරු ලෙස ගිය අවිෂ්ක ගුණවර්ධන මහතා නැවත ශ්‍රී ලංකාවට පැමිණි අතර පිතිකරු පුහුණුකරු ජෝන් ලුවිස් මහතා ඩර්බන්හිදී නැවත සංචිතයට එකතුවීමට නියමිතව තිබුණි. ජෝන් ලුවිස් මහතා පෞද්ගලික හේතුවක් මත ඕස්ටේ‍්‍රලියානු සංචාරය අතරතුරදී එංගලන්තය බලා පිටත්ව ගියේය.  

ශ්‍රී ලංකාව තුළ ඉහළතම වැටුපක් ලබන ශ්‍රී ලාංකිකයා වන චන්දික හතුරුසිංහ මහතා පසුගිය වසරේ ජනවාරි මස ප‍්‍රධාන පුහුණුකරු ලෙස පත්වූ දින සිට ඔහු මසකට ලබන රුපියල් ලක්‍ෂ 60කට අධික වැටුපට සරිලන දියුණුවක් කණ්ඩායම තුළ නොමැති බව නම් පැහැදිලිය. හතුරුසිංහ මහතා 2018 වසරේ ජනවාරි මස ප‍්‍රධාන පුහුණුකරු ධූරය බාරගැනීමෙන් පසුව ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 14 කට සහභාගි වී තරග හතරක් පමණක් ජයගෙන ඇති අතර තරග හතක් පරාජයට පත්ව තරග තුනක් විසඳුමකින් තොරව අවසන් වී තිබේ. 

එම කාලය තුළ ශ්‍රී ලංකා එක්දින පිල තරග 17 කට සහභාගි වී තරග හයක් පමණක් ජය ලබා තිබේ. හතුරැසිංහ මහතාගේ පුහුණුකරු කාලය තුළ ශ්‍රී ලංකා පිල එක්දින තරග 10 ක් පරාජයට පත්ව ඇති අතර තරගයක් විසඳුමකින් තොරව අවසන් විය. මෙහිදී සැප්තැම්බර් මස එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී පැවැති ආසියානු කුසලාන තරගාවලියේ පළමුවටයේදී බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය හමුවේ පරාජයට පත්වීම කැපී පෙනේ. හතුරුසිංහ මහතා යටතේ ශ්‍රී ලංකාව සහභාගි වූ විස්සයි20 තරග 10 යෙන් හයක්ම පරාජයට පත්ව ඇති අතර ජය ලැබූ තරග හතරෙන් දෙකක් බංග්ලාදේශයට එරෙහිව වේ.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ක‍්‍රීඩාව තුළින් කඩා වැටීමට අමතරව කිසිදාක නොතිබූ ලෙස විනයද පිරිහී තිබේ. කණ්ඩායමේ ප‍්‍රබල ක‍්‍රීඩකයන් ඔවුන්ගේ බිරින්දෑවරුන් යොදාගෙන ප‍්‍රසිද්ධියේ විවේචනය කරගන්නා තත්ත්වයක් මේ වනවිට නිර්මාණය වී තිබේ. තිසර පෙරේරා වැනි ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් ලිපි මාර්ගයෙන් එක්දින සහ විස්සයි20 කණ්ඩායම්වල නායක ලසිත් මාලිංග නායකත්වයෙන් ඉවත්කර කණ්ඩායමේ සමගිය ඇති කරන ලෙස ඉල්ලීම් කරන තත්ත්වයකට පත්ව තිබේ. 

ජාතික කණ්ඩායම තුළ කල්ලි නිර්මාණය වීමට සහ ගැටුම් ඇති වීමට හතුරැසිංහ මහතාගේ ක‍්‍රියාකලාපයද හේතුවක් බව කණ්ඩායම් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. හතුරුසිංහ මහතා පුහුණුකරු ධූරයේ බාරගත් දිනයේ සිට කණ්ඩායම තුළ තමන්ට හිතවත් නිලධාරීන් පිරිසක් සහ තමන්ට හිතවත් ක‍්‍රීඩකයන් පිරිසක් නිර්මාණය කරගැනීමේ දැඩි උත්සාහයක නිතරව සිටියේය. එහි ප‍්‍රතිඵලයක් ලෙස කළමනාකරුවන් ලෙස කටයුතු කළ අසංක ගුරැසිංහ සහ චරිත් සේනානායක යන මහත්වරුන්ට එම තනතුර අහිමිවිය. 

හතුරුසිංහ මහතාගේ බංග්ලාදේශයේ සහායකයා වූ තිලාන් සමරවීර මහතා පිතිකරු පුහුණුකරු ලෙස පත්වීම් ලැබීය. ශ්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීන් පසුව ඔහු ඉවත්කිරීමට පියවර ගත්තේය. ඕස්ටේ‍්‍රලියානු සංචාරය අතරතුර දී අවිෂ්ක ගුණවර්ධන මහතා පිතිකරු පුහුණුකරු ලෙස කණ්ඩායමට එක්වීම වළක්වමින් තිලාන් සමරවීර නැවත ගෙන ඒමේ උත්සහයක් තිබූ බවද වාර්තා වේ. කුසල් මෙන්ඩිස් සහ දිනේෂ් චන්දිමාල් වැනි ක‍්‍රීඩකයන් අඛණ්ඩව අසාර්ථක වෙද්දී කණ්ඩායමේ ස්ථානය ලබාදුන් බවටද හතුරුසිංහ මහතාට චෝදනා එල්ල වී තිබේ.  

මෙම තත්ත්වය තුළ හතුරුසිංහ මහතා තවදුරටත් කණ්ඩායමේ රැඳී සිටීම ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව අහිතකර බව බැලූ බැල්මට පැහැදිලිය. ශ්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීහු මේ පිළිබඳව දැන් දැඩි අවධානය යොමු කර තිබේ.

I සටහන: වරකාගොඩ ගමගේ

 

 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:30