2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා

මැතිව්ස්ගේ ඇඟේ හයිය සහ මාලිංග උඩින් පාත්වීම

 2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 219

නවසීලන්තයට එරෙහිව වෙලින්ටන්හිදී පසුගිය බදාදා අවසන් වූ පළමු ටෙස්ට් තරගය විසඳුමකින් තොරව අවසන් කිරීමේ නියමුවෙක් බවට පත්වූ ඇන්ජලෝ මැතිව්ස් දෙවැනි ඉනිමේදී ශතකය රැස්කිරීමෙන් පසුව '‘පුෂ් අප්ස්’ දහයක් ගසමින් සිය ශාරීරික යෝග්‍යතාව ප‍්‍රදර්ශනය කරමින් විශේෂ අභිනවයක් ප‍්‍රදර්ශනය කළේය.

මැතිව්ස්ගේ එම අභිනවය ආසියානු ක‍්‍රිකට් තරගාවලියෙන් පසුව ඔහුට ශාරිරික යෝග්‍යතාව නැතැයි පවසමින් එක්දින සහ විස්සයි20 කණ්ඩායම්වල නායකත්වය මෙන්ම එම සංචිතවල ස්ථාන ද අහිමි කරමින් පරාජයේ වගකීම ඔහුගේ කරමතින් තැබූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිලධාරියාට විය යුතුය. 

වෙලින්ටන් ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වූ පසුගිය අඟහරැවාදා නවසීලන්ත පිලට නොසිතූ තත්ත්වයකට මුහුණ දීමට සිදුවිය. 

සිව්වැනි දිනයේ තරගය ආරම්භ කරන විට ලකුණු 20කට කඩුලු තුනක් බිඳ වැටී තවත් ලකුණු 276ක් පසුපසින් සිටියදී ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස් සම්පූර්ණ සිව්වැනි දිනයේදීම කඩුලු රැකගැනීමට සමත් වීමෙන් නවසීලන්තයෙන් ජයග‍්‍රහණය මෑත් විය. 

තෙවැනි දිනයේ ක‍්‍රීඩාව අවසන් කරන විට ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 2ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 5ක් පමණක් ලබා සිටි අතර සිව්වැනි දිනයේ ක‍්‍රීඩාව අවසන් කරන විට මැතිව්ස් නොදැවී ලකුණු 117ක්ද, කුසල් ලකුණු 116ක්ද ලබා සිටියහ.

නවසීලන්ත ප‍්‍රබල වේගපන්දු යවන්නන් වන ටිම් සවුති සහ ටෙ‍්‍රන්ට් බෝල්ට් හමුවේ සටන්කාමීව පන්දුවට පහර දුන් ආකාරය කැපී පෙනුණි.

තරගයේ පස්වැනි සහ අවසන් දිනය වූ පසුගිය බදාදා මැතිව්ස් (නොදැවී 120) සහ කුසල් (නොදැවී 141) තවදුරටත් කඩුල්ලේ රැඳී සිටි අතර වර්ෂාවෙන් ලැබුණු සහයෝගයත් සමඟින් පහසුවෙන් තරගය විසඳුමකින් තොරව අවසන් කළ හැකි විය. 

ටෙස්ට් පිලේ නායක දිනේෂ් චන්දිමාල් ද පසුගිය සතියේ අකරතැබ්බකට මුහුණ දී සිටියි. අසන්ත ද මෙල් මහතාගේ සභාපතිත්වයෙන් යුත් නව තේරීම් කමිටුව එක්දින සහ විස්සයි20 කණ්ඩායම්වල නායකයා ලෙස ලසිත් මාලිංග නම්කිරීමට පියවර ගැනීම ඊට හේතුවයි. 

චන්දිමාල් ඉවත් කර මාලිංග නායකත්වයට පත්කිරීමෙන් කණ්ඩායම අභ්‍යන්තරයේ පවතින ව්‍යාකූල තත්ත්වය තවත් වර්ධනය වනවා මිස එහි පාලනයක් නම් බලාපොරොත්තු විය නොහැකිය. ලසිත් මාලිංග වසරකට වැඩි කාලයක් කණ්ඩායමේ ස්ථානය අහිමිව සිට නැවත පැමිණි දිනයේ සිට නායකත්වය කෙරෙහි ඇස ගසාගෙන සිටින බවට විවිධ ආරංචි පැතිර ගිය අතර නව තේරීම් කමිටුවේ තීරණයත් සමඟ එම ආරංචි සත්‍ය බවට පත්ව තිබේ.

එක්දින කණ්ඩායමේ වැඩි පිරිසකගෙන් මාලිංගට සහයෝගය ලැබේදැයි මේ වනවිට සැකයක් මතුවී තිබේ. මාලිංග තවත් තිලකරත්න ඩිල්ෂාන් කෙනකු බවට පත්වේ යැයි බොහෝ දෙනා පවසති.

එක්දින හෝ විස්සයි20 යන කණ්ඩායම්වල ස්ථිර ස්ථානයක් හිමිකර ගැනීමට නොහැකිව සිටින නිරෝෂන් දික්වැල්ලට උප නායකත්වය ලබාදීමට තේරීම් කටයුතු පියවර ගෙන තිබුණි.

තුන් ඉරියව් ක‍්‍රීඩකයකු වන සීකුගේ ප‍්‍රසන්න මෙම කණ්ඩායමට ඇතුළත් වූයේ කුමන පදනමක් මතද යන්න ගැටලුසහගතය. සීකුගේ ජාතික කණ්ඩායමට ඒමට පසුගිය කාලයේ කළ දෙයක් නොමැත. ඔහු සංචිතයට පැමිණීම හුදෙක්ම නායකයාගේ ඉල්ලීමක් පමණක් වීමට හෝ තේරීම් කමිටුවේ ආශාවක් පමණක් විය හැකිය. 

සීකුගේ සංචිතයට ගෙන ඒම සඳහා ශ්‍රී ලංකා ක‍්‍රිකට් අනාගතය උකසට තබමින් දෑතින්ම පන්දු යැවිය හැකි දක්‍ෂ පිතිකරුවකු ද වන කමිඳු මෙන්ඩිස්ට සංචිතයේ ස්ථානය අහිමි කර තිබේ. 

අසන්ත ද මෙල් මහතාගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව ද ආරම්භයේදීම සෝබන වැඩට බැස සිටින බව සමහරු කියති. ශ්‍රී ලාංකිකයන්ට කළ හැක්කේ මෙම රංගන බලා සිටීම පමණි. 

මෙම තරගාවලියේ පළමු එක්දින තරග දෙක ලබන ජනවාරි මස 3 සහ 5 දෙදින මවුන්ට් මන්ගනුයිහිදී දිවා-රාතී්‍ර තරග ලෙස පැවැත්වේ. තෙවැනි එක්දින තරගය ජනවාරි 8 වැනිදා නෙල්සන්හිදී ද, විස්සයි20 තරගය ජනවාරි 11 වැනිදා ඕක්ලන්ඩ්හිදී ද, පැවැත්වීමට නියමිතය. 

ශ‍්‍රී ලංකා එක්දින සහ විස්සයි20 සංචිතය: 

ලසිත් මාලිංග (නායක), නිරෝෂන් දික්වැල්ල (උප නායක), ඇන්ජලෝ මැතිව්ස්, ධනුෂ්ක ගුණතිලක, කුසල් ජනිත්, දිනේෂ් චන්දිමාල්, අසේල ගුණරත්න, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, දසුන් ශානක, ලක්ෂාන් සඳකැන්, සීකුගේ ප‍්‍රසන්න, දුෂ්මන්ත චමීර, කසුන් රාජිත, නුවන් ප‍්‍රදීප් සහ ළහිරු කුමාර 

I සටහන: යොහාන් භාසුර

 

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 12:30