2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා

අකිලට වැරැදුණේ කොතැනද?

 2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 163

ශ්‍රී ලංකාව පසුගිය වසර දෙකකට ආසන්න කාලයේදී ලැබූ ක‍්‍රිකට් ජයග‍්‍රහණවල දැවැන්ත කොටස්කරුවකු වූ අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී යැයි අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව ඔහුට පසුගිය අඟහරුවාදා ජාත්‍යන්තර ක‍්‍රිකට් තහනමක් පැනවීය. අකිල පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ පසුගිය නොවැම්බර් මස 23 වැනිදා ඕස්ට්‍රේලියාවේ බි‍්‍රස්බේන්හිදී පරීක්‍ෂණයකට සහභාගි වූ අතර එහි ප‍්‍රතිඵල අනුව අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව මෙම තීරණයට එළඹිණි.

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව පවසා තිබුණේ අකිල පන්දු යැවීමේදී පන්දුව අතින් ගිළිහෙන විට ඔහුගේ වැළමිට අංශක 15 කට වඩා නැමෙන බැවින් එය නිවැරැදි කරගෙන ඔහුට නැවත පරීක්‍ෂණයකට සහභාගි විය හැකි බවයි. අකිල කඩුල්ල වටා පැමිණ යවන පන්දුව පිළිබඳව ප‍්‍රශ්නයක් ඇති බව මුලදී පැවසුණද පරීක්‍ෂණයෙන් පසුව ඔහුට එකම පන්දුවක් හෝ යැවීමේ අවස්ථාව අහිමිවීම කනගාටුවට කරුණකි. අකිල පා දඟ පන්දු යවමින් කඩුලු දවාගන්නා බොහෝ අවස්ථාද දැක තිබේ. මෙම තහනමත් සමඟ අකිලට පා දඟ පන්දුවද යැවිය නොහැකිද යන්න ප‍්‍රශ්නයකි.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමේදී පැවසුවේ අකිලගේ අනාගත සැලසුම පිළිබඳව මේ දක්වා සාකච්ඡා කර නොමැති බවත් ඔහු ගෙන්වා ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය බවත්ය. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ අවසර ඇතිව අකිලට දේශීය තරගවලට සහභාගි වීමේ අවස්ථාව තිබේ.

ශ්‍රී ලංකාවේදී පසුගියදා අවසන් වූ එංගලන්ත සංචාරයේ ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් පසුව එම තරගයේ විනිසුරුවෝ අකිලගේ පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවට පැමිණිලි කළහ. අකිල පසුගිය කාලය පුරාම ශ්‍රී ලංකා එක්දින පිලේ කඩුලු දවාගන්නා බවට පත්ව සිටියේය. අකිල විශේෂයෙන්ම නව පන්දුවෙන් සහ අධිවේගී ඕවර තුළදී සාර්ථක විය. 

අකිල සිය දෙවැනි ආගමනය ලෙස 2017 වසරේ ජූනි මස නැවත එක්දින ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියට පැමිණීමෙන් පසුව එක්දින තරග 29 කදී කඩුලු 46 ක් දවාගෙන තිබේ. එම සාර්ථකත්වය හේතුවෙන්ම අකිල මෙම වසරේ පෙබරවාරි මස ඩකාහිදී බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් වරම් ලැබීමෙන් පසුව ටෙස්ට් තරග පහකදී කඩුලු 27 ක් දවාගැනීමට සමත් විය.

අකිලගේ පන්දු යැවීමේ ඉරියව් පිළිබඳව සැකයක් ඇති බවට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට චෝදනා එල්ල වූ ක‍්‍රීඩකයකු ඇතැම් තැන්වලට පැමිණිලි කර ඇති බවටද ක‍්‍රිකට් ක්ෂේත‍්‍රය තුළ රාවයක් පැතිර යයි. තමන් අන්තර් සමාජ මට්ටමේ වැඩිම කඩුලු ලාභියා වුවද ජාතික කණ්ඩායමේ ස්ථානයක් නොලැබෙන බවට අදාළ ක‍්‍රීඩකයා ප‍්‍රසිද්ධියේ තේරීම් කමිටුව විවේචනය කරන බවද දැනගන්නට තිබේ.

අකිලගේ මෙම තහනමත් සමඟ එක්දින සහ විස්සයි20 කණ්ඩායම්වල ස්ථානය ලබාගැනීමේ අරමුණින් අදාළ ක්‍රීඩකයා අකිල පිළිබඳව වගකිවයුතු ස්ථානවලට පැමිණි කර ඇති බවට කථා පැතිර යයි. එය කෙසේ වුවද අකිල ධනංජය නැමැති සම්පත නැවත ගොඩදැමීමේ වගකීම ශ්‍රී ලංකා ක‍්‍රිකට් මුදලින් සුපිරි වැටුප් ලබන පුහුණුකරුවන්ගේ සහ උපදේශකයන්ගේ වගකීම වී තිබේ.  

I විශේෂ ලියුම්කරුකු විසිනි

 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30