2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා

නවසීලන්තෙදිවත් වෙනසක්!

 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 114

අසන්ත ද මෙල් මහතාගේ සහභාපතිත්වයෙන් යුත් නව තේරීම් කමිටුව වෙනස්කම් කීපයක් සමඟින් නවසීලන්ත ටෙස්ට් තරගාවලිය සඳහා පසුගිය සතියේ සංචිතය නම් කළේය. මේ මස 15 වැනිදා ආරම්භ වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය පසුගිය සඳුදා රාත්‍රී පිටත්ව ගියේය.

ළහිරු තිරිමාන්න වසරකට අධික කාලයකට පසුව ටෙස්ට් සංචිතයට ඇතුළත්ව සිටීම මෙහිදී වඩාත් කැපී පෙනෙන සිද්ධිය බවට පත්ව තිබේ. එංගලන්ත සංචාරයේදී පිතිකරුවන් අසාර්ථක වීම තිරිමාන්න සංචිතයට ගෙන ඒමේ ආසන්නතම හේතුව බවට පත්ව තිබේ. තිරිමාන්න පසුගිය කාලයේ අවස්ථා ලබාදුන්නද සමස්තයක් වශයෙන් සාර්ථක නොවූ පිතිකරුවෙකි.

මෙහිදී තේරීම් කමිටුව තිරිමාන්නට අවස්ථාව ලබාදීමට පෙර ධනුෂ්ක ගුණතිලක තවදුරටත් එකොළොස්දෙනා අතර රඳවාගත යුතුය. ධනුෂ්ක එංගලන්තයට එරෙහිව අවසන් ටෙස්ට් තරගයට කැඳවූ අතර ඔහු එහිදී ලකුණු අතරට පැමිණීමට අපොහොසත් විය. එය එසේ වුවද ධනුෂ්ක ඔහුගේ ඊට පෙර ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව අර්ධ ශතක දෙකක් රැස්කර සිටියදී විනය හේතූන් මත ඔහු සංචාරයෙන් ඉවත් කරනු ලැබ සිටියේය.

විසිතුන් හැවිරිදි සදීර සමරවික්‍රම, නවසීලන්තය බලා පිටත්ව ගියේය. සදීරද වසරකට පසුව නැවතත් ටෙස්ට් සංචිතයට කැඳවීම වඩාත් වැදගත්ය. එය එසේ වුවද ජ්‍යෙෂ්ඨ ආරම්භක පිතිකරු සහ ශ්‍රී ලංකාවෙන් පිටතදී සාර්ථකත්වය ප්‍රදර්ශනය කර තිබෙන කෞෂාල් සිල්වා සංචිතයෙන් ඉවත්කර තිබේ. එංගලන්ත සංචාරයේදී අසාර්ථක වීම කෞෂාල් විසිවීමට හේතු විය.

එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරග තුනටම සහභාගි වූ වමතින් දඟපන්දු යවන මාලින්ද පුෂ්පකුමාරට නවසීලන්ත සංචාරයේ ස්ථානය අහිමිවිය. එයට හේතු වූයේ නවසීලන්ත තණතීරුවල මාලින්දට වඩා චයිනමන් පන්දු යවන ලක්‍ෂාන් සඳකැන් කෙරෙහි විශ්වාසය තැබීමය. මාලින්ද දඟපන්දු යවන්නන්ට සහයෝගය නොදක්වන තණතීරුවල සාර්ථක වීමේ ප්‍රවණතාව වඩාත් අවම බව තේරීම් කමිටුවේ මතය වී තිබේ. 

ටෙස්ට් පිලේ උප නායකත්වය දැරූ සුරංග ලක්මාල් වෙනුවට මෙම සංචාරයේදී උප නායකයා ලෙස දිමුත් කරුණාරත්න නම්කර තිබේ. දිමුත් ටෙස්ට් පිලේ ස්ථාවර ක්‍රීඩකයකි. ඒ හේතුවෙන් ඔහුට උප නායකත්වය පැවරීමේ වරදක් නොපෙනේ. මෙම සංචිතයට වේගපන්දු යවන්නන් පස්දෙනකු ඇතුළත්ව සිටින අතර ආබාධයන්ට ලක්ව සිටි නුවන් ප්‍රදීප් සහ දුෂ්මන්ත චමීර නැවත පැමිණ සිටිති.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය:

දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න (උප නායක), කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, රොෂේන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, ළහිරු තිරිමාන්න, සදීර සමරවික්‍රම, ඩිල්රුවන් පෙරේරා, ලක්‍ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, කසුන් රාජිත, ළහිරු කුමාර සහ දුෂ්මන්ත චමීර

I සටහන: යොහාන් භාසුර

 

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30