2017 ජනවාරි 07 වන සෙනසුරාදා

ජයසූරියගේ ගැටුම ඉවරයි: දකුණු අප්‍රිකාවට යාමට අවසරයි

 2017 ජනවාරි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 124

සනත් ජයසූරියගේ සභාපතිත්වයෙන් යුත් ක‍්‍රිකට් තේරීම් කමිටුව සහ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතන පරිපාලනය අතර උද්ගතවී තිබූ ගැටුම්කාරී තත්ත්වය පසුගිය සතිය වන විට සමතයකට පත්ව තිබූ බව වාර්තා වේ.

සනත් ජයසූරිය මෙම ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා දැනුවත් කිරීමට ද පියවර ගත් අතර ජයසූරිය තේරීම් කමිටු සභාපතිත්වයෙන් ඉවත් වීමට ද සූදානමින් සිටින බව වාර්තා විය. 

දකුණු අප‍්‍රිකානු සංචාරයේ සිට ජාතික කණ්ඩායමේ විදේශ තරග සංචාරවලදී තේරීම් කමිටු සාමාජිකයකු සහභාගි නොකිරීමට ගෙන ඇති තීරණය ගැටුම කරළියට පැමිණීමට ආසන්නතම හේතුව බවට පත්විය. 

සනත් ජයසූරිය සහ ක‍්‍රිකට් බලධාරීන් අතර මේ පිළිබඳව පසුගිය සතියේ සාකච්ඡාවක් පැවැති බව ද වාර්තා වේ. එහිදී දකුණු අප‍්‍රිකානු සංචාරයට තේරීම් කමිටු සාමාජිකයකු සහභාගි කරවීමට එකඟ වූ බව ද දැනගන්නට තිබේ.  

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන නිලධාරියකුගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ තේරීම් කමිටු සාමාජිකයාට ටෙස්ට් තරගාවලියේ අවසන් දින කීපයේ සිට එක්දින තරග දක්වා දකුණු අප‍්‍රිකාවට යෑමට අවස්ථාව ලබාදීමට තීරණය කළ බවයි. 

තේරීම් කමිටු සාමාජිකයා අඛණ්ඩව සිටීමෙන් විශාල වියදමක් දැරීමට සිදුවෙනවා. ඒ නිසා අපි කිව්වා තරගාවලිය මැදදී යන්න කියලා ඒ වගේම දකුණු අප‍්‍රිකාවේ දින කීපයක් ගත කරලා නැවත ලංකාවට ඇවිත් නැවත යන්න ගියාම වියදම වැඩියි. අපි අවධානය යොමු කළේ ඒ ගැනයි යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධානියකුගෙන් සහ එහි උපදේශකවරයකු යැයි කියන හිටපු ක‍්‍රීඩකයකුගෙන් කණ්ඩායම තේරීමේදී බලපෑම් එල්ල වීම මෙහිදී ප‍්‍රධාන චෝදනාව බවට පත්ව තිබූ බව ද වාර්තා විය.

තේරීම් කමිටුව පසුගිය සංචාරවලදී අහසින් පාත්වෙන්නාක් මෙන් ඇතැම් ක‍්‍රීඩකයන් සංචිතයට ඇතුළත් කිරීම පිළිබඳව ක‍්‍රිකට් බලධාරීන් ප‍්‍රශ්න කිරීම මෙම ගැටලුකාරී තත්ත්වයට බලපා තිබේ. 

කෙසේ වෙතත් තේරීම් කමිටුව එසේ කණ්ඩායමට පසුගිය කාලය පුරා ඇතුළත්කර ක‍්‍රීඩකයන් වූ කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, ළහිරු කුමාර සහ අසේල ගුණරත්න යන ක‍්‍රීඩකයෝ සාර්ථකත්වයට පත්වූහ. එංගලන්ත සංචාරයට ඇතුළත් කළ චමින්ද බණ්ඩාර පමණක් දැඩි අසාර්ථකත්වයට පත්විය. 

දැන් පැවැත්වෙන දකුණු අප‍්‍රිකානු සංචාරයට ද වේග පන්දු යවන ජාතික මට්ටමට ආධුනිකයකු වන විකුම් සංජය සංචිතයට ඇතුළත්ව සිටියි. තේරීම් කමිටුව මේ ආකාරයට ආධුනිකයන් සංචිතයට ගෙන ඒමෙන් ශ්‍රී ලංකා වයස 19 න් පහළ සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම නියෝජනය කරන ක‍්‍රීඩකයන්ට අසාධාරණයක් වන බවට ද චෝදනා එල්ල වී තිබේ. 

දකුණු අප‍්‍රිකානු සංචාරය වැනි වඩාත් වැදගත් සංචාරයකදී සනත් ජයසූරිය වැනි දැඩි තීරණවලට එළඹෙන තේරීම් කමිටු සාමාජිකයකු කණ්ඩායම සමඟ සිටීම වඩාත් ප‍්‍රයෝජනවත් බව ක‍්‍රිකට් ප‍්‍රවීණයෝ පවසති.     

♦ සටහන: යොහාන් භාසුර

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00