2019 ජනවාරි 05 වන සෙනසුරාදා

හරීන්ගේ ක්‍රිකට් තීන්දු හරි යයිද?

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 71

ක‍්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් නිසි බලධාරියා ලෙස කටයුතු කරමින් පාලනය වන ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පරිපාලනයට අතුරු කමිටුවක් පත්කරන්නේ ද, එසේ නැත්නම් පෙබරවාරි මස 7 වැනිදා නිලවරණය පවත්වා නිලධාරීන් පත්කරගන්නවාද, යන තීරණය මේ මස 10 වැනිදාට පෙර ගන්නා බව ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පසුගිය 31 වැනිදා ප්‍රකාශ කර තිබිණි. 

අතුරු කමිටුවකට වෙනස් වූ පාලනයක් ගෙන ඒමේ සූදානමක් පිළිබඳව ද ක‍්‍රීඩා අමාත්‍යවරයා එහිදී ඉඟියක් පළ කළේය. ඇතැම් විට එය අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ අනුමැතියෙන් පත්කරන මණ්ඩලයක් විය හැකිය.

“අතුරු පාලක මණ්ඩලයකට වෙනස් වූ අර්ථයකින් පරිපාලනයක් අපි ස්ථාපිත කරන්න බලාපොරොත්තු වෙනවා. මේ දේවල් කරන්න අයි.සී.සී.ය කැමති තත්ත්වයක තිබුණේ. ජනවාරි පළමු සතියේ අයි.සී.සී. විධායක කමිටුව කැඳවීමෙන් පසු මේ පිළිබඳ තීරණයක් ගන්න බලාපොරොත්තු වෙනවා. අතුරු පාලක මණ්ඩලයක්  ඕනද නැද්ද කියලා ජනවාරි 10 වැනිදාට කලින් තීරණය කරන්න පුළුවන්” 

"පෙබරවාරි 07 වැනිදා පැවැත්වීමට නියමිත ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණය පිළිබඳව අයි.සී.සී.ය උනන්දුවෙන් ඉන්නවා. අයි.සී.සී. විධායක කම්ටු රැස්වීමෙන් පසුව ඔවුන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලනය පිළිබඳව තීරණයක් ගනී” යැයි ක‍්‍රීඩා අමාත්‍යවරයා පැවසීය.

නව ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා සිය පෞද්ගලික සංචාරයක් අතරතුර අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ (අයි.සී.සී.) ප‍්‍රධානීන් හමුවී ක‍්‍රිකට් නිලවරණය කල්දැමීමට අවසර ලබාගැනීමට අදහස් කළ ද එය ව්‍යාර්ථ විය. 

එහිදී ක‍්‍රීඩා අමාත්‍යවරයාට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ දූෂණ මර්දන ඒකකයේ ප‍්‍රධානී ඇලෙක්ස් මාෂල් මහතා හමුවීමට පමණක් අවස්ථාව උදාවිය. එහිදී අමාත්‍යවරයා අයි.සී.සී. සභාපති ශෂාක් මනෝහරන් මහතා හෝ ප‍්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන් මහතා හමුවීමට උත්සාහ කළ ද උත්සවය සමය හේතුවෙන් එම උත්සාහය අසාර්ථක වී තිබිණි. 

සභාපති ශෂාක් මනෝහරන් මහතා ඒ වන විට ඉන්දියාවේ රැඳී සිටි අතර ක‍්‍රීඩා අමාත්‍යවරයා ඩුබායි සිට ඉන්දියාවට යෑමට අදහස් කළ ද සභාපතිවරයාගෙන් කාලය නොලැබීමෙන් නැවත ශ්‍රී ලංකාවය පැමිණියේය. 

"මම සිදත් වෙත්තමුණි, රොෂාන් මහානම, කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන මේ සියලු දෙනා සමඟ සාකච්ඡා කළා. ඔවුන්ගේ අදහස වුණේ ක‍්‍රීඩා නීතියට ශ‍්‍රී ලංකාව ගේනවානම්, කාලයක් අරගෙන හෝ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වෙනුවෙන් ඉදිරිපත් වෙනවා කියලා. මඩ ගෑවුණු නැති පිරිසිදු චරිත ඉදිරිපත් වෙනවානම්, ඒකට අයි.සී.සී.යේ වුණත් අකමැත්තක් නැහැ” 

ලෝක ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ දූෂිතම ක‍්‍රිකට් ආයතනය ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය බවත්, මේ නිසා මෙරට තුළ සිදුවන දූෂණ සහ වංචා සෙවීමට පූර්ණ කාලීන ආයතනයක් ශ‍්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීමට අයි.සී.සී.ය තීරණය කර ඇති බවත් ක‍්‍රීඩා අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණයට නාමයෝජනා ඉදිරිපත් කර සිටින මොහාන් ද සිල්වා මහතා ප‍්‍රමුඛ කණ්ඩායම නිලවරණය පවත්වන ලෙස සහ තමන්ට කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා ක‍්‍රීඩා අමාත්‍යවරයාට ලිපියක් යොමුකර තිබුණි. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන පෙබරවාරි මස 9 වැනිදාට පෙර නොපැවැත්වුහොත් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවෙන් පළමු කාර්තුවේදී ලැබීමට නියමිත ඩොලර් මිලියන පහක මුදල නොලැබෙන බව ලිපියේ සඳහන් කර තිබුණි. 
මොහාන් ද සිල්වා මහතාගේ පාර්ශවයේ ප‍්‍රධාන නිලධාරියකු පැවසුවේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ලැබෙන මුදලින් 80% ක්ම අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවෙන් ලැබෙන මුදල් බවයි.

‘‘අයි.සී.සී. එකෙන් අපිට පළමු කාර්තුවේදී ඩොලර් මිලියන අටක මුදලක් ලැබෙන්න තියෙනවා. නිලවරණය තියෙලා නිලධාරීන් පත්නොවුණොත් එම මුදල් නවත්වයි’’ යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

ක‍්‍රීඩා අමාත්‍යවරයා ක‍්‍රිකට් ආයතනය පිළිබඳ තීරණ ගැනීමේදී මෙම තත්ත්වය ගැන අවධානය යොමු කරනවාට සැක නැත. එසේ අවධානය යොමු නොකළහොත් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ ශ්‍රී ලංකා සාමාජිකත්වය අවදානමට ලක්වේ. 
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ පරිපාලනය තුළ එළඹෙන සති දෙක තුළ බොහෝ දෙය සිදුවිය හැකිය.

I වරකාගොඩ ගමගේ