2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා

විනිසුරු තීන්දු ගැන විවේචන!

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 282

විනිසුරු තීරණ  ඕනෑම ක‍්‍රීඩාවක තීරණාත්මක සාධයකයක් බව අමුතුවෙන් කිවයුතු නැත. එංගලන්තයට එරෙහිව පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී පසුගිය සෙනසුරාදා පැවැති සිවුවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා විනිසුරු ලින්ඩන් හැනිබල් මහතා ලබාදුන් තීන්දුවක් බොහෝ දෙනකුගේ කථා බහට ලක්ව තිබේ.

එංගලන්තයට එරෙහිව පැවැති තරග පහකින් යුත් එක්දින ක‍්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා පිල 3x1 ක් ලෙස පරාජයට පත්විය. එහි පස්වැනි සහ අවසන් තරගය ශ්‍රී ලංකා පිල ලකුණු 219 කින් ජය ලැබීමෙන් යම් තරමක අස්වැසිල්ලක් ලැබීය.

සිවුවැනි තරගයේදී විනිසුරු තීරණය විවාදයට ලක්ව තිබෙන අතර එම තරගයෙන් එංගලන්තය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 18 කින් ජය ලැබීය.

ධනංජය ද සිල්වා යැවූ එංගලන්ත ඉනිමේ 23 වැනි ඕවරයේ පළමු පන්දුව යැවීමට පෙරම හැනිබල් විනිසුරුවරයා එම පන්දුව නිපන්දුවක් බවට සංඥා කළ බවට එහිදී මාධ්‍ය වාර්තා කර තිබුණි.

එම පන්දුවට ජෝ රූට් ‘ස්විප්’ පහරක් ගැසූ අතර එය උඩ පන්දුවක් ලෙස ෂෝට් ෆයින්ලෙග් ස්ථානයේ පන්දු රකිමින් සිටි ලසිත් මාලිංග රැකගත්තේය.

ජෝ රූට් එම අවස්ථාවේදී දැවී ගියේ නම් එංගලන්ත පිල ඕවර 22.1 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 112 ක් බවට පත්වේ. එය එසේ වූයේ නම් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකා පිල ලකුණකින් ඉදිරියට පැමිණෙයි.

එංගලන්ත පිල ඕවර 22.1කදී කඩුලු 3 ක් දැවී ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ජය ලැබීමට නම් ලකුණු 113 ක් රැස්කර තිබිය යුතුව තිබුණි. එසේ වූයේ නම් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට පසුව යැවූ ඕවර පහේදී පීඩනය යොමු කිරීමේ අවස්ථාව තිබුණි. 

වර්තමාන එක්දින ජාත්‍යන්තර ක‍්‍රිකට් නීතියට අනුව දෙවැනි ‘පවර් ප්ලේ’ එසේත් නැත්නම් දෙවැනි ‘අධිවේගී  ඕවර’ අවස්ථාවේදී යාර 30 සීමාවෙන් එපිට පන්දු රකින්නන් රැඳවිය හැක්කේ සිවුදෙනකු පමණි.

වේග පන්දු යවන ක‍්‍රීඩක කසුන් රාජිත ඒ අවස්ථාවේදී යාර 30 සීමාවෙන් පිට ‘මිඩ් ඕෆ්’ ස්ථානයේ සිටීම නිසා විනිසුරුවරයා එම පන්දුව නිපන්දුවක් ලෙස සංඥා කළ බව වාර්තා වේ. එහිදී රාජිත ස්ථානගතව සිටියේ කොතැනදැයි යන්න පැහැදිලි නැත.

කෙසේ වෙතත් මෙම තීරණයේ නීතියට අනුව එය පන්දු යවන්නාගේ අතින් පන්දුව ගිලිහී යන අවස්ථාවේදී සංඥා කළ යුතුය. නමුත් මෙහිදී හැනිබල් විනිසුරුවරයා ඊට පෙර නිපන්දුව සංඥා කළ බවට චෝදනා එල්ල වේ.

එංගලන්තයට එරෙහිව මෙම තරගාවලිය පුරාම විදේශ විනිසුරුවකු සමඟ ශ්‍රී ලංකා විනිසුරුවෙක් කටයුතු කළේය. එම බොහෝ තරගවලදී ශ්‍රී ලංකා විනිසුරුවන්ගේ තීරණ දෙස බැලීමේදී මීට වසර කීපයකට පෙර පැවැති ආකාරයට විනිසුරුවන් දෙපළම විදේශීය විනිසුරුවන් වීම වාසිදායක බවට මතයක් පවතී. 

ඇතැම් විනිසුරුවන් එංගලන්තයට සහ ඉන්දියාවට එරෙහිව තරගවලදී කටයුතු කරන ආකාරය පිළිබඳව විවේචන ද නැතුවා නොවේ.ආර්. ‍ප්‍රේමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැති අවසන් තරගයේ ශ්‍රී ලංකා විනිසුරුවාගේ මෙන්ම පෙර තරගවලදී ශ්‍රී ලංකා ඇතැම් විනිසුරුවන්ගේ හැසිරීම පිළිබඳව අවධානය යොමු කළහොත් එම චෝදනාව පිළිබඳව වැඩි වැටහීමක් ලබාගත හැකිය. 

♦ සටහන: යොහාන් භාසුර